"විශ්ව සාහිත්‍යයට එක් කළ හැකි සිංහල කෘතියක් වේ නම් ඒ පන්සිය පනස් ජාතක පොත පමණි~ ".හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ පැවසූහ. කුරුණෑගල යුගයේ දී විරචිත පන්සිය පනස් ජාතක පොත ජාතක කතා පන්සිය 47 කින් පරිමිත වේ එහි එන දීර්ඝතම ජාතකය උම්මග්ග ජාතකය යි. උම්මග්ග ජාතකයේ පරමාර්ථය මහෞෂධ පඬිවරයාගේ බුද්ධි මහිමය හෙළි කිරීමයි. එහි එන කේවට්ට බමුණාත් මහෞෂධ පඬිවරයාත් අතර පැවති සමවිෂමතා කවරේදැයි පහතින් විමසා බලමු.
කේවට්ට බමුණා යනු උත්තර පඤ්චාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අග්‍ර පුරෝහිතයාය.ඔහු මහා නුවණැත්තෙකි. " *ඌ තුමූ නුවණැත්තාහ.වියත්තාහ."* යනුවෙන් ජාතක කතාකරුවා සෘජුවම ඒ බව පවසයි.මහෞෂධ පඬිවරයා යනු මියුලු නුවර වේදේහ රජුගේ අග්‍ර පුරෝහිතයාය . හෙතෙම අසමසම ඥාන වන්තයෙකි. උම්මංග ජාතකය පුරාවටම රැව් පිළිරැව් දෙන්නේ මහෞෂධ පඬිවරයාගේ ප්‍රඥා මහිමයේ යශෝරාවයි. කේවට්ට- මහෞෂධ දෙදෙනාම ප්‍රඥාවන්තයින් වීම ඔවුන් අතර තිබූ එකම සමානකමයි .
කේවට්ට බමුණාට අවැසි වූයේ මුළු ඉන්දියාවේ ම අග්‍ර පුරෝහිතයා බවට පත්වෙමින් තම ධනය හා බලය වඩා ගැනීමටය. ඒ සඳහා වස මිශ්‍ර රා පොවා දඹදිව එක් සියයක් රජදරුවන් අමු අමුවේ මරා දැමීමට කේවට්ට බමුණා සිතීය. මින් විෂධ වන්නේ කේවට්ට බමුණා යනු ආත්මාර්ථකාමී මනසක් තිබූ අයකු බවය.කේවට්ට බමුණා යනු දුෂ්ට හදවතක් තිබූ අයෙකු බවය. මිනිස් ජීවිත නැති කිරීමට බුද්ධිය මෙහෙය වූ අයකු බවය. එහෙත් මහෞෂධ පඬිවරයා ඊට සපුරා වෙනස් ය. සුව පෝතකයා ගෙන් කේවට්ට බමුණාගේ පාපී අදහස දැනගත් පසු යෝධයන් දහස ලවා වස මිශ්‍ර රා බදුන් සුණු විසුණු කොට එක් සියයක් රජුන් ගේ ද ඔවුන්ගේ සේනාවගේ ද ජීවිත රැක ගත්තේ ය. මින් ගම්‍ය වන්නේ මහෞෂධ පඬිවරයා යනු පරාර්ථකාමී මනසක් තිබූ අයකු බවය. මහෞෂධ පඬිවරයා යනු දයාව, කරුණාව, මනුෂ්‍යත්වය පිරි සොඳුරු හදවතක් තිබූ අයකු බවය. මිනිස් ජීවිත රැක ගැනීමට තම බුද්ධිය මෙහෙය වූ අයෙකු බවය.
කේවට්ට බමුණා සතු වූයේ බියගුළු මානසිකත්වයකි. චූලනී බ්‍රහ්මදත්ත රජු මියුලු නුවර වැටලීමට සැරසෙන විට කේවට්ට බමුණා දිගින් දිගටම ඊට අකමැති විය.
*" මහෞෂධ පණ්ඩිතයන් විසින් රක්නා ලද මිථිල නම් රාජධානිය සිංහයෙකු විසින් රක්නා ලද රන් ගල්ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින ගන්නට නොහැක්කී ය.ගියොත් හුදෙක් අපටම ලැජ්ජා වන්නීය* . "
දඹදිව එක් සියයක් රජුන් ද ඔවුන්ගේ සේනාවන්ද තමා සමග සිටියදී තම මුණුබුරෙකු තරම් ළාබාල මහෞෂධ පඬිවරයාට මුහුණ දීමට බියෙන් කේවට්ට බමුණා මෙසේ පසු බසින විට ප්‍රකට වන්නේ ඔහුගේ බියගුළු මනසය. එහෙත් මහෞෂධ පඬිවරයා නිර්භීත, එඩිතර,අසම්භීත මානසිකත්වයක් තිබූ අයෙකි. සතුරු සේනාව මියුළු නුවර වට කළ විට, වේදේහ රජු උඩු මහලට වී බියෙන් වෙව්ලමින් සිටින විට එතැනට පැමිණි මහෞෂධ පඬිවරයා රජුට පැවසූයේ බිය නොවන ලෙස ය. තමා ගල් කැටයක් ගෙන කපුටු රැළක් එලවන්නා සේ, දුන්නක් ගෙන වඳුරු රැළක් එල වන්නා සේ සතුරන් පළවාහරින්නම් ය යනුවෙනි. මහෞෂධ පඬිවරයා යනු නිර්භීත අයෙකි.
සෑම තැනදීම මහෞෂධ පඬිවරයා හමුවේ පරාජය වූ කේවට්ට බමුණා අවසන ධර්ම යුද්ධයෙන්ද පැරදුනි. කේවට්ට බමුණා තමා හැර යන සේනාව පිටුපස දිව එන විට ඔහුගේ සේනාව දරුණු වදනින් බමුණාට නින්දා කළහ.
" *එම්බල දුෂ්ට, අධර්මිෂ්ඨ, නිකෘෂ්ට , අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ, අඥාන බමුණු මහල්ල තෝ ධර්ම යුද්ධය කෙරෙමී කියාගොස් ....* "
කේවට්ට බමුණා අවමානයට පාත්‍ර විය. මහෞෂධ පඬිවරයාට මියුලු නුවර වැසියෝ සාධුකාර දුන්හ. අත්පොලසන් දුන්හ. බෝධිසත්ත්වයෝ සම්මානයට පාත්‍ර වූහ.
මේ අනුව කේවට්ට බමුණා සහ මහෞෂධ පඬිවරයා සම විෂමතාවන් ගෙන් යුක්ත චරිතද්වයක් බවට අපට පැවසිය හැක.
Post a Comment