04.බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්(11 ශ්‍රේණිය)
×
04.බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්(11 ශ්‍රේණිය)
1833 දී කෝල්බෲක් ප්‍රතිසංස්කරණ සඳහා පසුබිම සැකසුණු ආකාරය පැහැදිලි කරන්න.
1815 න් පසු ලංකාවේ පාලන කටයුතු ගෙන යාමේදී රජයේ ආදායමට වඩා වියදම ඉහළ ගියේය. මෙහි දී මෙරට වියදම් පියවා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයෙන් වරින්වර මුදල් ඉල්ලා සිටීමට සිදුවිය. එබැවින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 1829 දී ඩබ්.එච්.ජී. කෝල්බෲක් මහතා ශ්‍රී ලංකාවට එවන ලදී. එමෙන්ම එවකට ශ්‍රී ලංකාවේ පැවති අධිකරණ හා නීතිමය තත්ත්වය සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 1830 දී චාල්ස් හේ කැමරන් මහතා මෙරටට එවන ලදී. 1833 දී බ්‍රිතාන්‍යයන් මෙරටට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කෝල්බෲක් ප්‍රතිසංස්කරණය නම් වේ.
කෝල්බෲක් ප්‍රතිසංස්කරණ වල තිබූ කැපී පෙර ලක්ෂණ මොනවා ද ?
*ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම.
*උඩරට හා පහතරට පළාත් ඒකාබද්ධ වූ
පාලන ක්‍රමයක් හඳුන්වා දීම.
*දිවයින පළාත් පහකට බෙදීම.
*අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි
කිරීම.
*රජයේ වෙළෙඳ ඒකාධිකාරය අහෝසි කිරීම.
1833 දී පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවේ ව්‍යුහය පැහැදිලි කරන්න.
මෙහි මුළු සාමාජිකයින් සංඛ්‍යාව 15 කි.ඉන් 09 දෙනෙක් නිලලත් සාමාජිකයන් විය. 06 දෙනෙක් නිල නොලත් සාමාජිකයන් විය. ඉන් 03 දෙනෙකු යුරෝපීයන් වෙනුවෙන් ද, ඉතිරි 03 දෙනා සිංහල, දෙමළ, බෙර්ගර් ජන කොටස් අතරින් එක් අයෙකු බැගින් ද විය.
1865 දී යුරෝපීය ජාතිකයන් විසින් 'ලංකා සංගමය' පිහිටුවන ලද්දේ කුමක් සඳහා ද ?
මුල් කාලයේ ව්‍යවස්ථාදායක සභාවට පාලන බලය පවරා නොදුන් නිසා යුරෝපීය ව්‍යාපාරිකයන්ගේ වතු වගාව සඳහා අවශ්‍ය වූ මහා මහාමාර්ග, දුම්රිය මාර්ග හා වෙනත් යටිතල පහසුකම් දියුණු කර ගැනීම සඳහා මුදල් වෙන් කර ගැනීම දුෂ්කර විය. එසේම ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් පිරිස සුළුතරය වීමත්, ඉන් තිදෙනෙකුම ආණ්ඩුකාරවරයා නම් කිරීමත් ඔවුන්ට ගැටලුවක් විය.
මෙම කරුණු සඳහා උද්ඝෝෂණ කිරීම පිණිස ජෝර්ජ් වෝල්ගේ නායකත්වයෙන් 'ලංකා සංගමය' පිහිටුවන ලදී.
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයක් අවශ්‍ය බවට විධිමත් පෙත්සමක් මුල්වරට යටත් විජිත භාර ලේකම් වෙත ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් ද ?
1908 දෙසැම්බර් මාසයේ දී ජේම්ස් පීරිස් මහතා විසිනි.
පහත රට නිෂ්පාදන සංගමය , හලාවත සංගමය හා යාපන සංගමය ආදී ශ්‍රී ලාංකික සංගම් පෙත්සම් මගින් ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම් වූයේ මොනවා ද ?
*ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත්
සාමාජික පිරිස ඉහළ දැමීම.
*වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කිරීම.
*පළාත්බද නියෝජන ක්‍රමය අනුව ඒ ඒ පළාත්
වෙනුවෙන් ඡන්ද බලයෙන් නියෝජිතයන්
තෝරා ගැනීමට ඉඩ සැලසීම.
*ව්‍යවස්ථාදායක සභාවේ බලතල වැඩි කිරීම.
1912 සිට ක්‍රියාත්මක වූ කෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩි කල ආකාරය පැහැදිලි කරන්න.
මෙහිදී ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 21 විය. නිලලත් 11දෙනෙකු හා නිල නොලත් 10 දෙනෙකු එයට ඇතුළත් විය. නිල නොලත් 10 දෙනාගෙන් 06 දෙනෙක් වාර්ගික නියෝජනය අනුව නාමකරණයෙන් පත් කෙරිණි. ඉතිරි 04 දෙනා යූරෝපීයයන් වෙනුවෙන් 02 දෙනෙකු,බර්ගර් එක් අයකු හා උගත් ලාංකිකයන් වෙනුවෙන් එක් අයෙකු වශයෙන් සීමිත ඡන්ද බලයෙන් තෝරා පත් කරගන්නා ලදී .
කෲව් මැකලම් ප්‍රතිසංස්කරණයේ කැපී පෙනෙන ලක්ෂණ මොනවා ද ?
*ව්‍යවස්ථාදායක සභාවට ප්‍රථම වරට ඡන්ද
බලයෙන් නියෝජිතයන් පත් කිරීමට ඉඩ ලැබීම.
*උගත් ලාංකිකයන් වෙනුවෙන් එක්
නියෝජිතයකු එම සභාවට පත් වීම.
*තවදුරටත් නිල නොලත් පිරිස
ව්‍යවස්ථාදායකයේ සුළුතරය වීම.
ව්‍යවස්ථාදායක සභාව සඳහා උගත් ලාංකික මන්ත්‍රීවරයා තෝරාගැනීමට 1912 දී පැවති මැතිවරණයයෙන් තේරී පත්වූයේ කවුද ?
ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා.
ශ්‍රී ලාංකිකයන් විසින් අමද්‍යප උද්ඝෝෂණ ආරම්භ කළේ කුමන හේතුවක් නිසාද ?
1912 දී රජය රා තැබෑරුම් පිහිටුවීමට අවසර දෙමින්, නව සුරාබදු පනතක් පැනවීම.
අමද්‍යප උද්ඝෝෂණ වල කැපී පෙනෙන ලක්ෂණ වූයේ මොනවා ද ?
*රජයේ සුරාබදු ප්‍රතිපත්තියට එරෙහිව
මහජන මතයක් ඇති කිරීමට උත්සාහ කිරීම.
*මධ්‍යම පාන්තික ඉංග්‍රීසි උගතුන් හා ආගමික
පුනරුදයේ ක්රියාකාරිකයන් යන
දෙකොටසම එක අරමුණකින් කටයුතු කිරීම.
*කොළඹ මධ්‍යම අමද්‍යප සභාවක් පිහිටුවා
රට පුරා ශාඛා ආරම්භ කර අමද්‍යප සමිති
ජාලයක් ගොඩනැගීම
*අමද්‍යප වේදිකාවේ දී ආණ්ඩුවේ
කටයුතු විවේචනය වීම.
ඉංග්‍රීසි ආණ්ඩුව අමද්‍යප ව්‍යාපාරය අඩපණ කළේ කෙසේ ද ?
1915 දී මහනුවර ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති විය. එය සිංහල මුස්ලිම් කෝලාහලය නම් විය. ගැටුම ව්‍යාප්තවීමට ඉඩ හැරි රජය එය අවස්ථාවක් කරගෙන අමද්‍යප ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා අමද්‍යප නායකයන් රැසක් අත්අඩංගුවට ගෙන සිංහල පුවත්පත් කිහිපයක් ද තහනම් කළේය. මේ නිසා අමද්‍යප ව්‍යාපාරයේ කටයුතු අඩපණ විය.
අමද්‍යප කටයුතු හරහා දේශපාලනයට පැමිණි නායකයින් කිහිප දෙනෙකු නම් කරන්න.
*එෆ්.ආර්. සේනානායක මහතා
*ඩී.එස්. සේනානායක මහතා
*ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා
ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාෂය ශ්‍රී ලංකාවට ලැබුණු ආකාරය පැහැදිලි කරන්න.
බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව 1885 සිටම ඉන්දියානුවෝ ශක්තිමත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ. සුරෙන්ද්රනාත් බැනර්ජි, බාල් ගංගාධාර්, තිලක්, මහත්මා ගාන්ධි, ජවහල්ලාල් නේරු ආදි නායකයෝ 'ස්වරාජ්‍ය' හෙවත් නිදහස දිනා ගැනීමේ ප්‍රබල සටහන් ක්‍රියාත්මක කළහ. මේ නිසා 1918 වන විට ලංකාවට වඩා ඉදිරියට ගිය ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඉන්දියාවට ලබාගත හැකි විය.
මහත්මා ගාන්ධි, ජවහල්ලාල් නේරු ආදීන් මෙරටට පැමිණ ජනතාව ඇමතූහ. මේ නිසා ඉන්දියානු නිදහස් සටනේ අභාසය ශ්‍රී ලංකාවට ලැබුණි. 1915 ට පසු සංවිධානාත්මක උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමට මෙරට නායකයින්ට හැකි විය.
ශ්‍රී ලංකා ජාතික සංගමය බිහිවීම එහි අරමුණු හා වැදගත්කම පැහැදිලි කරන්න.
එවකට පැවති සංවිධාන සියල්ල එකතු කොට 1919 දෙසැම්බර් මස ලංකා ජාතික සංගමය පිහිටුවන ලදී.
ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපති වරයා වශයෙන් පත් වූයේ, 1915 න් පසු මෙරට දේශපාලන උද්ඝෝෂණ ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයෙකු වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා ය. මේ වන විට දේශපාලන කටයුතු පිළිබඳ උනන්දු වූ සියළු සංවිධාන ජාතික සංගමය යටතේ ඒකාබද්ධ වී දේශපාලන බලතල ලාංකිකයන්ට ලබා ගැනීමට ශක්තිමත් උද්ඝෝෂණයක් මෙහෙයවීම ජාතික සංගමය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය. පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් වැනි විවිධ ජනකොටස් නියෝජනය කළ සංවිධාන රැසක් ලංකා ජාතික සංගමය ලෙස එකම සංවිධානයක් තුළට එක්සත් වීම මෙරට ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් විය.
1920 මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ සංයුතිය පැහැදිලි කරන්න.
මෙම ප්‍රතිසංස්කරණය මගින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 37 දක්වා වැඩි කෙරිණි. මෙයින් 14 දෙනෙක් නිලලත් අය වූ අතර 23 දෙනෙකු නිල නොලත් නියෝජිතයෝ වූහ. නිල නොලත් පිරිසෙන් 7 දෙනෙකු ආණ්ඩුකාරවරයා විසින් නම් කරන ලදී.ඉතිරි 16 දෙනා පළාත්බද නියෝජන ක්‍රමය අනුව සීමිත ඡන්ද බලයෙන් තෝරා ගත්තේ ය.
1920 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් ලියා දක්වන්න.
*ව්‍යවස්ථාදායක සභාවේ මුල්වරට නිල
නොලත් නියෝජිතයන් බහුතරයක් ඇති වීම.
*පළාත්බද නියෝජන ක්‍රමය හඳුන්වා දීම.
*වාර්ගික නියෝජනය තව දුරටත්
ක්‍රියාත්මක වීම.
*ආණ්ඩුකාරවරයාට පැවරී තිබූ බලතල
අඩු නොවීම.
බ්‍රිතාන්‍ය පාලකයින් 1920 දී මැනිං ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කොට ඉතා කෙටි කලකින් නැවත ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයක් ලබා දීමට සිදුවූයේ ඇයි ?
1920 මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් ලංකා ජාතික සංගමයේ ඉල්ලීම් නොසලකා හැර තිබුණි. එසේම මෙම ප්‍රතිසංස්කරණය මගින් වුවද ආණ්ඩුකාරවරයාට පැවරෙන බලතල අඩු කොට නොතිබුණි. මේ නිසා ලාංකික නායකයෝ තවදුරටත් උද්ඝෝෂණවල නිරත වූහ. එබැවින් ඉතා කෙටි කලකින් තවත් ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයක් ලබාදීමට බ්‍රිතාන්‍ය පාලකයන්ට සිදු විය. ඒ අනුව 1924 දී මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ඇතිවිය.
1920 මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිත සංඛ්‍යාව කෙසේ වූයේ ද ?
මෙමගින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික පිරිස 49 දක්වා වැඩි කෙරිණි.එම පිරිස නිල ලත් 12 ක් හා නිල නොලත් 37 ක් වශයෙන් විය. නිල නොලත් 37 න් 8 දෙනෙකු ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් පත් කළ අතර 29 දෙනෙකු ඡන්ද බලයෙන් පත් කළේය. නිල ලත් 12 දෙනා හා ආණ්ඩුකාරවරයා පත් කළ 8 දෙනා එකතු වුවුද, ඡන්ද බලයෙන් පත් වූ 29 දෙනෙකු සිටි බැවින් මහජන ඡන්දයෙන් පත්වූ පිරිස එම සභාවේ බහුතරය වීම මෙම ප්‍රතිසංස්කරණයේ ඉතා වැදගත් ලක්ෂණයක් විය.
1920 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ කැපී පෙනෙන ලක්ෂණ මොනවා ද ?
*ව්‍යවස්ථාදායක සභාවට ඡන්ද බලයෙන්
නියෝජිතයන් 29 දෙනෙකු පත් කිරීම.
*ආණ්ඩුව පවත්වාගෙන යාමේ වගකීම
ආණ්ඩුකාරවරයා වෙත තිබුනත්,
ව්‍යවස්ථාදායකය සභාවේ බහුතර ඡන්දයක්
ඔහුට නොතිබීම.
*මෙම ආණ්ඩුක්රමය බලය හා වගකීම වෙන්
කළ ආණ්ඩුක්‍රමයක් බවට පත්වීම .
විලියම් මැනිං ආණ්ඩුකාරවරයාට පසු මෙරට ආණ්ඩුකාර ධූරය දැරුවේ කවුරුන්ද ?
හියු ක්ලිපර්ඩ් ආණ්ඩුකාරවරයා
1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම
ප්‍රතිසංස්කරණය
නිදහස දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයන් ගමන් කළ මාවතේ වැදගත් සන්ධිස්ථානයක් වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කුමක් ද ?
ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් 1931 දී ඉදිරිපත් කරන ලද ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයයි.
1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ කැපී පෙනෙන ලක්ෂණ මොනවා ද ?
*රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම.
*සර්වජන ඡන්ද බලය ලබා දීම.
*විධායක කාරක සභා ක්‍රමයක් ඇති කිරීම.
ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සංයුතිය පැහැදිලි කරන්න.
මෙහි මුළු සාමාජික සංඛ්‍යාව 61 විය. මෙහිදී පළාත්බද ඡන්ද කොට්ඨාස වලින් 50 දෙනෙකු තෝරා ගැනිණි. අනිවාර්යෙන්ම රාජ්‍ය නිලධාරීන් තිදෙනකු ඇතුළත් විය. ඒ තිදෙනා වූයේ රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් හා නීති ලේකම් ය. තවද ආණ්ඩුකාරවරයාට රාජ්‍ය මන්ත්‍රණ සභාවට 08 දෙනෙකු නම් කළ හැකි විය. මෙම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මූලාසනය හොබවන ලද්දේ එහි සාමාජිකයන්ගේ කැමැත්ත පරිදි තෝරාගත් කථානායකවරයකු විසිනි.
1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ ආකාරය පැහැදිලි කරන්න.
මෙතෙක් ශ්‍රී ලංකාවේ වත්පොහොසත්කම් ඇති අයට පමණක් ඡන්ද බලය හිමි වී තිබීම නිසා, අඩු ආදායම් ලබන ජනතාවගේ ගැටලුකෙරෙහි දේශපාලනඥයන්ගේ අවධානය අවම වී ඇති බව ඩොනමෝර් කොමිසමේ අදහස විය.
එසේම රටේ පොදු ජනතාවට ඡන්ද බලය නොලැබීම නිසා දේශපාලන කටයුතු කෙරෙහි ඔවුන්ගේ උනන්දුව අඩු වී ඇතැයි ඔවුන්ට වැටහුණි. මේ නිසා අධ්‍යාපනය හෝ වත්පොහොසත්කම් පිළිබඳව සුදුසුකම් වලින් තොරව වයස අවු 21 ට වැඩි ස්ත්‍රී පුරුෂ සියලු පුරවැසියන්ට ඡන්ද බලය ලබා දිය යුතු යැයි ඩොනමෝර් කොමිසම නිර්දේශ කළහ. වර්ෂ 1931 දී ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය ලැබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය පොදු ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් විය.
1931 මැතිවරණයෙන් පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් විධායක කාරක සභා 7 කට බෙදීය. ඒ මොනවා දැයි නම් කරන්න.
*ස්වදේශ කටයුතු
*කෘෂිකර්මය
*පළාත් පාලනය
*සෞඛ්‍ය
*අධ්‍යාපනය
*ගමනාගමනය හා පොදු වැඩ
*කම්කරු කර්මාන්ත හා වෙළෙඳාම
ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ විධායක කාරක සභා ක්‍රියාත්මක වූ ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.
මෙම කාරක සභාව 7 ට සභාපතිවරු න් 7 දෙනෙකු පත් කෙරුණි. කාරක සභාවේ සභාපතිවරයා ඒ ඒ විෂය ක්ෂේත්රය භාර ඇමතිවරයා බවට පත්විය. මේ නිසා ඩොනමෝර් ආණ්ඩුක්රමය යටතේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික ඇමතිවරු 7 දෙනෙක් බිහි වූහ. එමඟින් ලාංකිකයන්ගේ අවශ්‍යතා පරිදි ඒ ඒ අමාත්‍යාංශ මෙහෙයවීමට ඇමතිවරුන්ට හැකියාව ලැබුණි. රාජ්‍ය මන්ත්‍රණ සභාව යුගයේදී ගොවිජනපද ව්‍යාපාරය, නිදහස් අධ්‍යාපනය වැනි පොදු ජනතාවට බලපාන වැදගත් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ද ඇමති මණ්ඩලයට හැකියාව ලැබිණි.
1931 මැතිවරණයෙන් පසුව පත් වූ පළමු ශ්‍රී ලාංකික ඇමති මණ්ඩලය නම් කරන්න.
*ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා
(ස්වදේශ කටයුතු අමාත්‍ය)
*ඩී.එස්. සේනානායක මහතා
(කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය)
*සී බටුවන්තුඩාවේ මහතා
(පළාත් පාලන අමාත්‍ය)
*ටී.බී. පානබොක්කේ මහතා
(සෞඛ්‍ය අමාත්‍ය)
*සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා
(අධ්‍යාපන අමාත්‍ය)
*එච්.එම්. මාකන් මාකර් මහතා
(ගමනාගමනය හා පොදුවැඩ අමාත්‍ය)
*පෙරී සුන්දරම් මහතා
(කම්කරු, කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය)
1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායකවරයා ලෙස තේරී පත් වූයේ කවුද ?
ශ්‍රීමත් ඒ.එෆ්. මොලමුරේ මහතා
ඩොනමෝර් ප්‍රතිසංස්කරණය යටතේ ආණ්ඩුකාරවරයා සහයෝගයෙන් කටයුතු කළ යුත්තේ කා සමග ද ?
රාජ්‍ය මන්ත්‍රණ සභාව හා ඇමති මණ්ඩලය සමග.
ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වල පැවති ප්‍රධාන දුර්වලතාව කුමක් ද ?
රාජ්‍ය ආරක්ෂාව මුදල් කටයුතු හා නීති කටයුතු වැනි ඉතා වැදගත් අංශ තවදුරටත් රාජ්‍ය නිලධාරීන් තිදෙනා යටතට පත් කර තිබීමයි.
ඩොනමෝර් ආණ්ඩුක්රමය යටතේ ශ්‍රී ලාංකිකයන්ට යම් බලතල ප්‍රමාණයක් පැවරී තිබුනත් ශ්‍රී ලාංකිකයන් තවදුරටත් උද්ඝෝෂණවල නියැලුණේ ඇයි?
ඩොනමෝර් ආණ්ඩුක්රමය යටතේ රාජ්‍ය නිලධාරින්ට තවදුරටත් රාජ්‍ය පාලනයේ වැදගත් අංශ රැසක බලතල පැවරී තිබුණි. මේ නිසා 1931 සිටම ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීම හා රාජ්‍ය නිලධාරීන්ට පවරා තිබූ අමාත්‍යාංශ ලාංකික ඇමතිවරුන්ට පැවරීම අවශ්‍ය බවට උද්ඝෝෂණයක් ආරම්භ විය. මෙහිදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී පෙරමුණ ගෙන කටයුතු කරන ලද්දේ රාජ්‍ය මන්ත්‍රණ සභාව හා ඇමතිවරුන්ය.
පොපිමල් ව්‍යාපාරය යනු කුමක්දැයි පැහැදිලි කරන්න.
පළමුවන ලෝක සංග්රාමයෙන් ආබාධිත වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ට හා පවුල් වලට ආධාර එකතු කර ගැනීම සඳහා පොපි මල් විකිණීමේ ව්‍යාපාරය ආරම්භ කර තිබුණි. නොවැම්බර් 11 දින යුද්ධ සමාදාන දිනය ලෙස සලකා සෑම වසරකම එදිනට පොපි මල් විකිණීම සිදු කෙරිණි. ඊට අමතරව එදින පෙළපාලි හා උත්සව පවත්වා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කෙරෙහි ලංකාවේ පක්ෂපාතීත්වය පෙන්වීමටද කටයුතු කෙරිණි. පොපිමල් විකිණීමෙන් ලැබෙන මුදල් බ්‍රිතාන්‍යයට යවනු ලැබීය.
සූරියමල් ව්‍යාපාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.
සූරියමල් ව්‍යාපාරය ආරම්භ වූයේ පොපිමල් ව්‍යාපාරයට ප්‍රතිවිරුද්ධ වශයෙනි. 1926 දී ශ්‍රී ලංකාවේ සේවා මුක්ත භට සංගමය විසින් පොපි මල් විකිණීම සිදු වූ දින සූරිය මල් විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 1935 දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගෙන සිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි වාමාංශික නායකයෝ පසුව
සූරිය මල් ව්‍යාපාරයට සම්බන්ධ වූහ. එසේම සූරිය මල් විකිණීමෙන් ලැබෙන මුදල් මේ රටේ දුප්පත් ජනතාවගේ සුභසිද්ධියට වැය කෙරිණි.
පොපි මල් විකිණීමෙන් ලැබූ මුදල් බිතාන්යට යැවුණු බැවින්, එම මල් මිලදී ගැනීම අධිරාජ්‍යවාදයට පක්ෂපාතී වීමක් බවට ප්‍රචාරය කළ වාමාංශිකයෝ සූරියමල් පැළඳීම නිදහස් සටනට දායක වීමක් බවට ප්‍රචාරය කළහ. පොපි මල් වහල් බවේ ලකුණක් බවත්, සූරිය මල් නිදහසේ සලකුණ බවටත් ගෙන ගිය ප්‍රචාර හරහා බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති විවේචනය විය. මේ අනුව සූරියමල් ව්‍යාපාරය නිදහස සඳහා ගෙනගිය උද්ඝෝෂණ වල ප්රචාරක ව්‍යාපාරයක් බවට පත් විය.
දෙවන ලෝක යුද්ධය සමයේ දී ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ කාර්යභාරය කුමක් වූයේ ද? ඉන් සිදු වූ යහපත් ප්‍රතිඵලය කුමක් ද ?
1939 දී දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීම නිසා යුද්ධ අවස්ථාවේදී බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාවේ සහයෝගය අවශ්‍ය විය. මෙහිදී ඇමති මණ්ඩලය බිතාන්‍යයට සහය දීමට ඉදිරිපත් විය. යුද්ධය නිම වූ පසුව නව ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයක් අවශ්‍ය බවට ඔවුහු කරුණු පෙන්වා දුන්හ.
යුද්ධ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාමට විශේෂ ආරක්ෂක මණ්ඩලයක් පත් කළ අතර එවකට කෘෂිකර්ම අමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා ද එම මණ්ඩලයට ඇතුළත් විය.
යුද්ධය පැවති දුෂ්කර අවස්ථාවේදී ඇමතිමණ්ඩලය ලබාදුන් සහය නිසා පැහැදුණු මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ඇතුළු උසස් නිලධාරීහු යුද්ධය නිම වූ පසු ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටු වන ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයක් ලබා දෙන ලෙස බ්‍රිතාන්‍යට දැන්වූහ.එහි ප්‍රතිඵල වශයෙන් යම් යම් සීමාවන්ට යටත්ව ලංකාවට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙල කිරීමට මෙරට අමාත්‍ය මණ්ඩලයට බලය ලැබුණි.
1944 දී ඇමති මණ්ඩලය සැකසූ එම කෙටුම්පතට අනුව මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ සම්පූර්ණ බලය ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් යෝජනා කර තිබුණි. ලංකා ජාතික සංගමය මේ කාලයේදී අමාත්‍ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.
ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් සලකා බලා ඇමති මණ්ඩලේ ව්‍යවස්ථා කෙටුම්පත ද සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට වර්ෂ 1944 දී බ්‍රිතාන්‍ය රජය විසින් පත් කළ කොමිසම කුමක් ද ?
සෝල්බරි කොමිසම
Post a Comment