05.බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන (11 ශ්‍රේණිය)
×
05.බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන (11 ශ්‍රේණිය)
5.1
ආර්ථික වෙනස්වීම්
බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගන්නා විට මෙරට පැවති සාම්ප්‍රදායික සමාජ ආර්ථික රටාව පැහැදිලි කරන්න.
මෙරට සාම්ප්‍රදායික ජන ජීවිතය ගම මූලික කරගෙන බිහිව තිබුණි. මේ ජනතාවට අවශ්‍ය ආහාරපාන ගම තුළම නිෂ්පාදනය කෙරිණි. එය ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. අන්‍යෝන්‍ය සහයෝගය හා සහජීවනය සමාජයේ පැවතුණි.
එකල සමාජයේ වැටුපට වැඩ කිරීමේ ක්‍රමයක් දක්නට නොලැබුණි. තමන්ගේ ගොවිතැන් කටයුතුවලට ශ්‍රමය වැය කළ එක් එක් අයගේ ගොවිතැන් කටයුතු සඳහා අදාළ දින ගණන්වලට සරිලන සේ තම ශ්‍රමය ලබා දීම හෙවත් අත්තම් ක්‍රමය යටතේ කෘෂිකාර්මික කටයුතු සිදුවිය. මේ නිසා සමාජයේ මුදල් භාවිතය අවම වී තිබුණි.
ගම්වැසියන්ගේ සුළු ආරවුල් හා සුළු පැමිණිලි විභාග කරන ලද්දේ ගම් සභාව විසිනි. උඩරට රාජධානි සමයටපෙර ගමේ ඇළවේලි සැකසීම, වැව් අමුණු නඩත්තුව, පාරවල් හා වෙහෙර විහාර තැන වීම වැනි පොදු කටයුතු මෙහෙයවීමේදී ගම් සභාවට වැදගත් තැනක් ලැබුණි.
සම්ප්‍රදායික රාජකාරි ශ්‍රම ක්‍රමය යටතේ ගම් සභාවට අවශ්‍ය ශ්‍රමය ලබාගත හැකි විය. උඩරට රාජධානි සමය වන විට ගම් සභාව ගමේ සුළු අධිකරණය කටයුතු විසඳන ආයතනයක්ව පැවතුණි.
1815 ට පෙර පැවති පරිපාලන ක්‍රමය යටතේ රජයට අවශ්‍ය ශ්‍රමය ලබා ගත්තේ රාජකාරි ශ්‍රම ක්‍රමය මගිනි. එහිදී භාවිත වූ ශ්‍රමය සැපයීමේ ක්‍රම දෙක නම් කරන්න.
*ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය.
*අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය.
ඉඩම් භුක්ති රාජකාරි ක්‍රමය යනු කුමක්දැයි පැහැදිලි කරන්න.
අතීතයේ රජුට අවශ්‍ය සේවා සපයන නිලධාරීන්ට යැපීම සඳහා ඉඩ කඩම් ලබාදී තිබිණි. සේවා පරවේණි ඉඩම් ලෙස හඳුන්වන ලද එකී ඉඩම් වගා කළ අය රජුට අවශ්‍ය සේවය සැපයූහ නිලධාරීන්ට ලැබුණු මෙම ඉඩම් වගා කිරීම සාමාන්‍ය ජනතාවට ලබා දී තිබුණු අතර එකී ඉඩම් වගා කිරීම වෙනුවෙන් සේවය මගින් ශ්‍රමය සැපයීමට එම වගාකරුවන්ට සිදුවිය. මෙය ඉඩම් භුක්ති රාජකාරිය ක්‍රමය නම් වේ.
අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය යනු කුමක්දැයි පැහැදිලි කරන්න.
රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනාම වසරකට නියමිත දින ගණනක් කිසිදු ගෙවීමකින් තොරව රජුට අවශ්‍ය ශ්‍රමය සැපයිය යුතුය. ගම් ප්‍රධානීන් හා ගම් සභාව යටතේ එම ශ්‍රම ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි. බොහෝ විට ගමේ පොදු වැඩවලට අවශ්‍ය ශ්‍රමය ලැබුණේ මේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය මගිනි.
කෝල්බෲක් කොමිසම මගින් සිදුකල ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිලි කරන්න.
එවකට රජය මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ට ධනය ආයෝජනය කළ හැකි පසුබිමක් මෙරට ගොඩනැගීම කෝල්බෲක් කොමිසමේ අරමුණ විය.
රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. මේ අනුව විදේශිකයන්ට මෙන්ම ස්වදේශිකයන්ට ද කැමති ප්‍රමාණයක් ඉඩම් මිලදී ගැනීමට අවස්ථාව ලැබිනි. මෙරට සිටි සිවිල් නිලධාරීන්ට වතු වගාවට අවසර දුන් නිසා රජයේ ඉඩම් මිලදී ගැනීමේ අවස්ථාව ඔවුන්ට ද හිමිවිය.
වතුවගා කරවීම සඳහා අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීම පිණිස අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කළේ ය. අනතුරුව ශ්‍රමය කිසියම් මුදලකට මිලදී ගත හැකි දෙයක් බවට පත්වූයෙන්, වැටුපට සේවය කරන ශ්‍රමිකයන් බිහිවිය. එවකට රාජ්‍ය එකාධිකාරිත්වය පැවති කුරුඳු හා ලුණු එකාධිකාරිය අහෝසි කොට පෞද්ගලික අංශයටත් එම ක්ෂේත්‍ර වල ව්‍යාපාරික කටයුතුවල යෙදීමට ඉඩ සැලසීය.
අල්ලන ලද මාළු වලින් කොටසක් බදු වශයෙන් ලබා ගැනීම වෙනුවට බෝට්ටුවලට බලපත්‍ර නිකුත් කිරීමෙන් එම බද්ද වක්‍රව අය කිරීමට පියවර ගැනිණි.
එවකට බදු එකතු කිරීමේ අයිතිය රජය වෙන්දේසියේ විකුණා තිබූ අතර එම අයිතිය මිලදී ගත් පිරිස් ඉඩම් වල නිෂ්පාදන ද්‍රව්‍ය වලින් ඉඩම් බද්ද අයකරන ලදී. කෝල්බෘක් කොමිසම මගින් එය අහෝසි කොට සියලු ඉඩම් වලින් සමාන බද්දක් මුදලින් අය කිරීමට පියවර ගන්නා ලදී.
වතු වගාව කටයුතුවලට ධනය ආයෝජනය කරන ව්‍යාපාරිකයන්ට සාධාරණ පොලියට මුදල් ලබා ගැනීමට ඉඩ සලසා දීම පිණිස මෙරට ඉතිරි කිරීමේ බැංකුවක් පිහිටු විය යුතු බව ද කෝල්බෲක් කොමිසම නිර්දේශ කරන ලදී.
19 වන සියවස තුළ වතු වගාවේ ශීඝ්‍ර දියුණුවක් ඇති වීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව කුමක් ද ?
1833 වන විට ශ්‍රී විශාල වශයෙන් ධනය ආයෝජනය කළ හැකි ධනවතුන් පිරිසක් මෙරට නොසිටියහ. එබැවින් විදේශීය ආයෝජකයන්ට අක්කර දහස් ගණනක ඉඩම මිලදී ගැනීමට හැකියාව ලැබුණි.ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් ධනය ආයෝජනය කළේ, විදේශීය වෙළදාමෙන් ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් වන කෘෂිකර්මාන්තය කෙරෙහිය. මෙම නිසා කෝපි ආදී වතු වගාවන් ශීඝ්‍රයෙන් දියුණුවට පත්විය.
කෝපි වගාව
කෝපි වගාව දියුණු වීමට බලපෑ හේතු මොනවාදැයි දක්වන්න.
*1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ වලින්
පසුව විදේශිකයන් වැඩි වැඩියෙන් කෝපි
වගාවට ධනය ආයෝජනය කිරීම.
*යුරෝපා වෙළෙඳ පොළේ කෝපි වලට ඇති
ඉල්ලුම ඉහළ යාම.
*කෝපි වගාවෙන් විශාල වශයෙන් ලාභ
ලැබිය හැකි වීම.
*ඉන්දියානු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා
වතු වගාවට ලාභදායී ලෙස ශ්‍රමය ලබා
ගත හැකි වීම.
*එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී
කෝපි සඳහා අය කළ බද්ද අඩු කිරීම.
*වතුවගා කටයුතු වලට ශ්‍රමය සැපයූ
කම්කරුවන් අනිවාර්ය සේවා රාජකාරියෙන්
නිදහස් කිරීම.
1837 - 1844 කාලයේ දී කෝපි වගාවේ වර්ධනය කෙසේ සිදු වූයේ දැයි පැහැදිලි කරන්න.
මෙකල කෝපි වගාවෙන් විශාල වශයෙන් ලාබ ලැබිය හැකි වූ බැවින් රජයේ නිලධාරීන්ට කෝපි වගා කළේය. මෙකල උඩරට ප්‍රදේශවල කෝපි වතු 500 ක් පමණ පැවති බව වාර්තා වේ. මෙකල දුම්බර මිටියාවත, ගම්පොළ, පේරාදෙණිය, මාතලේ, බදුල්ල හා මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවල සාර්ථකව කෝපි වගාව සිදුවිය. 1834 දී අපනයනය කළ කෝපි ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ 1844 දී අපනයනය කර ඇත.
කෝපි වගාව පරිහානියට හේතු වූ කරුණු මොනවා ද ?
*1844 න් පසුව බ්‍රිතාන්‍ය අනුගමනය කළ
නිදහස් වෙළෙඳ ප්‍රතිපත්ති නිසා ලන්ඩන්
වෙළඳපොලේ මෙරට කෝපි වලට දැඩි
තරඟයකට මුහුණදීමට සිදුවීම.
*1848 දී ඇති වූ ඇතිවු ලෝක ආර්ථික
පරිහානිය ද මෙරට කෝපි වගාවට අහිතකර
ලෙස බලපෑම.
*1869 සිට කෝපි වගාවන්ට හෙමීලියා
වෙස්ටර්ට්‍රික්ස් නම් දිලීර රෝගය සීඝ්‍රයෙන්
පැතිරයෑම.
සිංකෝනා හා කොකෝවා වගාව
මෙරට සිංකෝනා හා කොකෝවා වගාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.
මෙරට කෝපි වගාව පරිහානියට පත් වෙද්දී ඇතැම් වගාකරුවෝ සිංකෝනා වගාවට හා කොකෝවා වගාවට යොමු වූහ. නමුත් සිංකෝනා වගාව සාර්ථකව කළ හැකි වූයේ වඩා උස් බිම්වල පමණි. සිංකෝනා යනු ක්විනික් නැමැති ඖෂධය නිපදවීමට යොදාගත් බෙහෙත් පැළෑටියක් වූ හෙයින්, ඒ සඳහා ද පැවැති ඉල්ලුම සීමිත විය.
කොකෝවා සාර්ථකව වගා කිරීමට සෙවන අවශ්‍ය වූ නිසා ඒ සඳහා අමතර වියදමක් දැරිමට වගාකරුවන්ට සිදුවිය. කොකෝවා වඩා හොඳින් වගා කළ හැකි වූයේ මාතලේ දිස්ත්‍රික්කයේ පමණි. වගාව වඩාත් සාර්ථකව පැවති කාලයේ පවා එය අක්කර 12,000 කට වැඩි ප්‍රමාණයක පැතිර නොතිබුණි.
තේ වගාව
ශ්‍රී ලංකාවේ වගාකරුවන් තේ වගාව කෙරෙහි යොමු වූයේ ඇයි දැයි පැහැදිලි කරන්න.
ලෝක වෙළෙඳපොළේ කෝපි මිල වරින්වර ඉහළ පහළ යාම නිසා උඩරට ප්‍රදේශවල වගාවට සුදුසු වෙනත් බෝග පිළිබඳව අත්හදා බැලීම් සිදු කෙරුණි. තේ වගා කිරීම පිළිබඳ එබඳු පර්යේෂණ කිහිපයක් සිදුවිය. 1867 වර්ෂයේ දී වැවිලිකරුවන්ගේ සංගමය, වතු වගාකරුවන් පිරිසක් ඇසෑමයට යවා තේ වගාව ගැන වැඩිදුර හැදෑරීමක් සිදු කරන ලදී. ජේම්ස් ටේලර් නැමැත්තා ලූල්කඳුර වත්තේ අක්කර කිහිපයක තේ වගා කරමින් තවත් අත්හදාබැලීමක් සිදු කළේය.
මෙම අත්හදාබැලීම්වල ප්‍රතිඵල වශයෙන් 1875 වන විට අක්කර 500 පමණ තේ වගාව ව්‍යාප්ත විය.
කෝපි වගාවේ පිරිහීමක් සමගම වගාකරුවන් බොහෝ දෙනෙක් තේ වගාවට යොමු වූ හෙයින් තේ වගාව ශීඝ්‍රයෙන් මෙරට පැතිරුණි.
ශ්‍රී ලංකාවේ තේ වගාවේ වර්ධනයට බලපෑ හේතු මොනවා ද ?
*ශ්‍රී ලංකාවේ තේ සඳහා ලෝක
වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පැවතීම.
*වියළි කලාපය හැර සෙසු ප්‍රදේශ
බොහෝමයක තේ වගාවට උචිත පරිසරයක්
පැවතීම.
*නවීන කර්මාන්තශාලා හා යන්ත්‍ර සූත්‍ර
භාවිතයෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ
තේ නිපදවීමට මෙරට සමත් වීම.
*මාර්ග පහසුකම් දියුණුවීම නිසා ප්‍රවාහන
පහසුකම් වැඩි දියුණු වීම.
*දකුණු ඉන්දියානු කම්කරුවන් ගෙන ඒම
නිසා ලාභදායී ශ්‍රමය ලබා ගත හැකි වීම.
පොල් වගාව
ශ්‍රී ලංකාවේ පොල් වගාවේ ව්‍යාප්තිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.
1850 පමණ වන විට කෝපි මිල පහළ යෑම නිසා පොල් වගාව පිළිබඳ උනන්දුවක් ඇතිවිය. 1880 වර්ෂය පමණ වන විට පොල් වතු හිමියන්ගෙන් 65% පමණ ලාංකිකයෝ වූහ. කුරුණෑගල, හලාවත හා ගම්පහ වැනි තැනිතලා ප්‍රදේශවල පොල් වගාව ව්‍යාප්ත විය. 1920 වන විට මෙරට විදේශ විනිමය ඉපැයීම් වලින් 28% පමණ පොල් නිෂ්පාදන වලින් ලැබුණි.
පොල් වගාව ව්‍යාප්ත වන විට ලුණුවිල පොල් පර්යේෂණාගාරයක් පිහිටුවා වගාව දියුණු කිරීමට කටයුතු කෙරිණි. මෙරට පොල් නිෂ්පාදනයෙන් අඩක් පමණ දේශීය පරිභෝජනයට ගන්නා ලදී. කෝපි හා තේ වගාව නිසා කඳුකර ප්‍රදේශ වල මහා මහාමාර්ග, දුම්රිය මාර්ග දියුණු වූවා මෙන්ම පොල් වගාව නිසා එකී වගාව පැතිර පැවති ප්‍රදේශවල මාර්ග දියුණුවක් ඇතිවිය.
රබර් වගාව
රබර් වගාවේ ව්‍යාප්තියට බලපෑ හේතු මොනවා ද ?
*පළමු ලෝක යුද්ධ සමයේ රබර් මිල ඉහළයාම.
*ඇමරිකා එක්සත් ජනපදය විශාල වශයෙන්
මෙරට රබර් මිලදී ගැනීම.
*බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ
මෝටර් රථ කර්මාන්තය දියුණු වීම.
*ශ්‍රී ලංකාවට ගැලපෙන රබර් වර්ග
සොයා ගැනීම.
*රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්‍රම වැඩි දියුණු වීම.
ශ්‍රී ලංකාවේ රබර් වගාවේ ව්‍යාප්තිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.
1877 පමණ වන විට රබර් ගස මෙරටට හඳුන්වා දෙනු ලැබූවත් රබර් වගා කිරීමට මෙරට වගාකරුවෝ යොමුවූයේ විසිවන සියවසේදී ය. මුල් කාලයේදී කළුතර දිස්ත්‍රික්කයට සීමා වූ රබර් වගාව පසුව බස්නාහිර, සබරගමුව, දකුණ යන පළාත් වල හා මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශ වලත් පැතිරිණි. 1920 වන විට මෙරට අපනයන ආදායමෙන් 30% ක් පමණ රබර් නිෂ්පාදන වලින් ලැබුණි. අගලවත්ත ප්‍රදේශයේ රබර් පර්යේෂණ ආයතනය පිහිටුවීමෙන් පසු රබර් වගාව දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.
5.2
සමාජ වෙනස්වීම්
මධ්‍යම පන්තියක් බිහිවීම
බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ මෙරට සිදු වූ සමාජ වෙනස්වීම් අතර කැපී පෙනෙන ලක්ෂණය වූයේ කුමක් ද ?
පැරණි ප්‍රභූ පන්තිය අභාවයට ගොස් නව මධ්‍යම පන්තියක් බිහිවීමයි.
පැරණි ප්‍රභූ පන්තිය පිළිබදව පැහැදිලි කරන්න.
මොවුන් ආර්ථික තත්ත්වය, සමාජ තත්වය හා දේශපාලන බලය අතින් සෙසු ජනතාවට වඩා විශේෂයෙන් කැපී පෙනුණු පිරිසකි. සැලකිය යුතු ඉඩම් හිමිකමක් තිබූ ඔවුහු ඉහළ ආදායමක් ලැබූ අතර පවත්නා පාලනයට පක්ෂපාතීව කටයුතු කිරීමෙන් රජයේ නිලතල දරු පිරිසක් ද වූහ. මේ හේතුවෙන් සමාජමය වශයෙන් ඔවුහු සෙසු ජනතාවගේ ගෞරවයට හා සැලකිල්ලට ලක්වූහ. පාරම්පරික ප්‍රභූ පන්තිය ලෙස සැලකිය හැකි මෙම පිරිස රදලයන් වශයෙන් ද හඳුන්වන ලදී.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය බිහි වූ අයුරු විස්තර කරන්න.
බ්‍රිතාන්‍ය පාලන කාලයේ විවෘත වූ අලුත් ධනෝපායන මාර්ගවලින් මුදල් උපයා ගත් ව්‍යාපාරික පිරිසක් මෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් රජයේ තනතුරු ලබා ගත් උගත්තු පිරිසක් ද බිහි වූහ. මෙම පිරිස ආර්ථික තත්වය අතින් සෙසු ජනතාව අතර වෙසෙසින් කැපී පෙනුණු කොටසක් බැවින් ඔවුන් මධ්‍යම පංතිය වශයෙන් හඳුන්වනු ලැබීය. 20 වන සියවස ආරම්භ වන විට මධ්‍යම පන්තිය බිහිවීමත් සමග පැරණි ප්‍රභූ පන්තිය අභාවයට ගියේය.
අලුතෙන් බිහිවූ මධ්‍යම පංතියේ සිටි උගත්තු දේශපාලන වශයෙන් ද ක්‍රියාකාරී කොටසක් බවට පත් වූහ. 20 වන සියවසේ මෙරට දේශපාලන උද්ඝෝෂණවල පෙරමුණ ගන්නා ලද්දේ මොවුන් විසිනි. උගත් මධ්‍යම පන්තිය වශයෙන් හැඳින්වූ මෙම පිරිස බටහිර අධ්‍යාපනය තුළින් සමාජ තත්වයක් ලබා ගත් අය වේ. එබැවින් ඔවුහු භටහිර සංස්කෘතිය අනුගමනය කරන ධනවත් නගර වැසියන් පිරිසක් බවට පත්වූහ.
කම්කරු පන්තියක් බිහි වීම
ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය බිහි වූ අයුරු විස්තර කරන්න.
මෙරට පැවති සාම්ප්‍රදායික පාලනය යටතේ රජයේ පොදු කටයුතු සඳහා අනිවාර්ය සේවා රාජකාරි ශ්‍රම ක්‍රමය අනුව ශ්‍රමය ලබා ගත් බැවින් වැටුපට වැඩකරන පිරිසක් බිහි නොවුණි. එහෙත් බ්‍රිතාන්‍ය පාලන කාලයේ උඩරට ප්‍රදේශවල වතු වගාව ආරම්භ වූ හෙයින් වතුවල සේවය කිරීමට කම්කරුවන් අවශ්‍ය විය.
මේ අවධිය වන විට ඉන්දියාව ද බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති බැවින් ඉතා අවම වැටුපකට දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගැනීම වඩාත් ලාභදායී විය. එබැවින් වතු පාලකයන් විසින් දහස් ගණනින් දකුණු ඉන්දියානු කම්කරුවන් මෙරටට ගෙන්වා ගන්නා ලදී. ඒ නිසා උඩරට ප්‍රදේශ ආශ්‍රිතව කම්කරු ජනතාවක් බිහිවීමට මග සැලසුනි.
අලුතින් ඇති වූ ආර්ථික වෙනස්කම් නිසා කොළඹ, ගාල්ල, මහනුවර වැනි නගර ආශ්‍රිතව බඩු බෑම, පැටවීම, රෙදි සේදීම, කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනය, මංමාවත් හා දුම්රිය මාර්ග තැනීම වැනි සේවා සඳහා ශ්‍රමිකයන් අවශ්‍යවිය. මේ නිසා ඉන්දියානු වතු කම්කරුවන්ට අමතරව නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ස්වදේශීය කම්කරු පිරිසක් ද බිහිවිය.
නාගරික කම්කරුවෝ වෘත්තිය සංගම් පිහිටුවා ගනිමින් තම අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කළේ ඇයි ?
මුල් කාලයේදී කම්කරුවන්ට හිමි වූයේ ඉතා අවම වැටුපකි. වැඩ පැය ගණනද නිශ්චිත නොවීය. කම්කරු රක්ෂණ වන්දි ක්‍රම හෝ වෙනත් සුභසාධන කටයුතු ද නොතිබිණි. එසේම ඒ ඒ ක්ෂේත්‍ර වල කම්කරුවන් අතර එකමුතුකම ගොඩනැඟෙන්නට වූ හෙයින් තම තත්වය දියුණු කරගැනිමට ඔවුන් වැඩෙන කිරීමට පෙළඹුණි.
20 වන සියවස ආරම්භයේ ඇති වූ කම්කරු වැඩ වර්ජන කීපයක් නම් කරන්න.
*මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය
*කොළඹ රෙදි සෝදන්නන්ගේ වැඩ වර්ජනය
*කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය
20 වන සියවසේ බිහි වූ වෘත්තිය සංගම් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.
20 වන සියවසේ දෙවන දශකය වන විට කම්කරුවෝ වඩා හොඳින් සංවිධානය වන්නට වූහ. ඒ.ඊ. ගුණසිංහ මහතාගේ පුරෝගාමීත්වයෙන් ලංකා කම්කරු සංගමය පිහිටුවීම මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැපී පෙනෙන අවස්ථාවක් විය.
1935 දී ලංකා සමසමාජ පක්ෂය බිහි වීමෙන් අනතුරුව එහි නායකයෝ ද වෘත්තීය සංගම් පිහිටුවමින් කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන්වලට නායකත්වය දුන්හ .පිලිප් ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්.එම්. පෙරේරා ආදී වාමාංශික නායකයෝ ශ්‍රී ලංකාවේ කම්කරු අරගලවලට නායකත්වය සැපයූහ.
මේ කාලයේදී මෙරට වතු කම්කරුවන් අතරද වෘත්තීය සංගම් පිහිටුවීමට නායකත්වය සපයන ලද්දේ නටේසර් අයියර් මහතා විසිනි.
සංස්කෘතික වෙනස්වීම්
බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ සංස්කෘතික වෙනස්වීම් පිළිබඳ පැහැදිලි කරන්න.
කෝල්බෲක් ප්‍රතිසංස්කරණ වලින් පසුව ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය හා බටහිර අධ්‍යාපනය වේගයෙන් ව්‍යාප්ත විය. බොහෝ විට මිෂනාරි පාසල් හා රජයේ අනුග්‍රහය ලැබූ පාසල්වල විෂය නිර්දේශය සැකසුවේ හා ඉගැන්වීම් කටයුතුවල නිරත වූයේ ද විදේශිකයෝය. මේ නිසා එබඳු පාසල් තුළින් ද බටහිර සංස්කෘතිය පැතිර යාමට මග සැලසිණි.
අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වූවන් මඟින්ද බටහිර සංස්කෘතියේ ඇතැම් අංග මෙරට පැතිරිණි.
19 වෙන සියවස තුළ වතු වගා ව්‍යාප්තිය, වෙළඳාම දියුණු වීම, ගමනාගමන කටයුතු හා සන්නිවේදන කටයුතුවල ඇති වූ දියුණුව නිසා යුරෝපීයයන් වැඩි වැඩියෙන් මෙරටට පැමිණුනි. මේ නිසා ඔවුන්ගේ සමාජ ශාලා, නිවාඩු නිකේතන ආදිය බිහිවූ අතර එබඳු හේතු ද බටහිර සංස්කෘතිය රටතුළ පැතිර යාමට ඉවහල් විය.
මෙසේ විවිධ සාධක වල බලපෑම නිසා බටහිර ඇඳුම් පැළඳුම්,සිරිත් විරිත්, ආචාර සමාචාර විධි, බටහිර ගෘහ නිර්මාණ ශිල්පය, ආහාරපාන මෙරට සංස්කෘතිය සමඟ මිශ්‍ර විය.
5.3
බ්‍රිතාන්‍ය පාලනය නිසා උරුම වූ ප්‍රයෝජනවත් අංග
බ්‍රිතාන්‍ය පාලනය නිසා මෙරටට උරුම වූ යහපත් අංග කිහිපයක් සඳහන් කරන්න.
*ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි භාෂා
දැනුම රට තුල පැතිරීම.
*ගමනාගමන කටයුතු හා සන්නිවේදන
කටයුතු දියුණු වීම.
*අපනයන වැවිලි බෝග හඳුන්වා දීම.
*කාර්මික විප්ලවයේ බලපෑම නිසා මෙරට
කර්මාන්ත දියුණු වීම.
*පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් බිහි වීම.
5.4
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඇතිව අහිතකර බලපෑම්
අධිරාජ්‍යවාදී පාලනයෙන් මෙරට ඇති වූ අහිතකර බලපෑම් ලියා දක්වන්න
*සර 133 ක පමණ කාලයක් නොකඩවා
විදේශ අධිරාජ්‍යයක සූරාකෑම් වලට ලක්වීම.
*නිදහස දිනාගන්නා විට රටේ අති බහුතර
ජනතාව දුප්පතුන් බවට පත්ව තිබීම.
*මහ ජනතාවගේ පොදු සේවා හා සුබසාධන
කටයුතු ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවක් ද
මතුව තිබීම.
*බටහිර සංස්කෘතික අංග රට තුළ තුල
පැතිරීම හා සාම්ප්‍රදායික සංස්කෘතිය
ලක්ෂණවල පිරිහීමක් ඇතිවීම.
*මත්පැන් පානය රට පුරා ව්‍යාප්ත වීම.
*ඉඩම් අහිමි ජනතාවක් බිහිවීම.
*සාම්ප්‍රදායික ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය
බිඳ වැටීම.
*දේශීය දැනුම අභාවයට යාම.
*ගම් සභා වැනි ප්‍රයෝජනවත් ආයතන විනාශ වීම.
1 comment