-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

.ශ්‍රී ලංකාවට නිදහස ලැබීම (11 ශ්‍රේණිය) කෙටිසටහන්

 06.ශ්‍රී ලංකාවට නිදහස ලැබීම (11 ශ්‍රේණිය)



06.ශ්‍රී ලංකාවට නිදහස ලැබීම (11 ශ්‍රේණිය)

              6.1


  සෝල්බරි ප්‍රතිසංස්කරණ හා නිදහස  ලැබීම




ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය දක්වා සෝල්බරි කොමිසමේ ක්‍රියා කලාපය පැහැදිලි කරන්න.


සෝල්බරි කොමිසමේ සාමාජිකයෝ 1944 දෙසැම්බර් මස මෙරටට පැමිණියහ.1945 සැප්තැම්බර් මස සොල්බරි කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණු අතර රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ පූර්ණ බලතල ලාංකිකයන්ට ලැබෙන ආණ්ඩු ක්‍රමයක් එමගින් නිර්දේශ කර තිබුණි. එම වාර්තාවේ කරුණු ඇතුළත් ධවල පත්‍රිකාව මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් පිළිගනු ලැබීමෙන් පසු සෝල්බරි ආණ්ඩුක්‍රමය පිළිබඳ රාජාඥාව 1946 මැයි මාසයේ දී බ්‍රිතාන්‍ය විසින් නිකුත් කරන ලදී.


සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1947 වසරේ මැද පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් ශ්‍රී ලංකාවට නිදහස ලබා දීම ගැන එතෙක් බ්‍රිතාන්‍යයෙන් කිසිම ප්‍රකාශයක් සිදු නොකළහ. මේ නිසා නිදහස ලබාගැනීමට ලාංකිකයන්ට ඇති අයිතිය පිළිබඳ ඩී.එස්. සේනානායක මහතා ඇතුළු මෙරට නායකයෝ බ්‍රිතාන්‍යයට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව මැතිවරණයට මාස දෙකකට පෙර විශේෂ ප්‍රකාශයක් කළ යටත්විජිත භාර ලේකම්වරයා, බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රටක තත්ත්වය   ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ විය.




ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ කවදා ද ?


1947 අගෝස්තු මාසයේ දී




ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මොනවා ද ?


*එක්සත් ජාතික පක්ෂය - ආසන 42 


*ලංකා සමසමාජ පක්ෂය - ආසන 10


*ද්‍රවිඩ සංගමය - ආසන 07


*ලංකා ඉන්දියානු සංගමය - ආසන 06


*බොල්ෂෙවික් ලෙනින් පක්ෂය - ආසන 05


*ලංකා කොමියුනිට්ස් පක්ෂය - ආසන 03


*කම්කරු පක්ෂය - ආසන 01


*ස්වාධීන අපේක්ෂකයින් - ආසන 21




ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතා 1947 නොවැම්බර් මස බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ අත්සන් කළ ගිවිසුම් දෙක කුමක් ද ?


*ආරක්ෂක ගිවිසුම :


 මෙමඟින් අවශ්‍ය අවස්ථාවලදී බ්‍රිතාන්‍යයේ


 නාවික ගුවන් හා සෙසු යුද්ධ කටයුතුවලට


 මෙරට භූමිය භාවිත කිරීමට ඉඩ ලබාදීමට


 එකඟ විය.




*බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම :


 මේ අනුව නිදහස් රටක් වශයෙන්  ශ්‍රී ලංකාව


 ජාත්‍යන්තර සබඳතා අලුතෙන් ගොඩනඟා


 ගැනීමේදී බ්‍රිතාන්‍යයේ සහාය මෙරටට ලබා


 දීමට කැමැත්ත ප්‍රකාශ විය.




ශ්‍රී ලංකාවට නිදහස ලබාදීම පිළිබඳ කරුණු ඇතුළත් ලංකා ස්වාධීනතා පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව, පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කලේ කවදා ද ?


1947 දෙසැම්බර් 19 දින 




1947 සිට 1972 දක්වා පැවති සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ රජයේ පාලන කටයුතු ගෙන යාමට හඳුන්වා දී තිබූ ආයතන හතර මොනවා ද ?


*අග්‍රාණ්ඩුකාරවරයා 


*පාර්ලිමේන්තුව


*අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය 


*අධිකරණය 




සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අග්‍රාණ්ඩුකාරවරයා පිළිබඳව විස්තර කරන්න.


මෙම ආණ්ඩුක්‍රමය යටතේ බ්‍රිතාන්‍ය රැජින තවදුරටත් ලංකාවේ නායිකාව වශයෙන් පිළිගත් බැවින් ඇයගේ මෙරට නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩුකාරවරයා කටයුතු කළේය. අග්‍රාණ්ඩුකාර තනතුරු මුළුමනින්ම නාමමාත්‍රා විධායක තනතුරක් වූ අතර ඔහු සිය කටයුතු මෙහෙයවීමේදී හැමවිටම අගමැතිගේ උපදෙස් පරිදි ක්‍රියා කළ යුතුවිය.




සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පාර්ලිමේන්තුව පිළිබඳව විස්තර කරන්න.


ව්‍යවස්ථාදායක කටයුතු සඳහා මහජන මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් සභාව කින් යුතු ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක් පිහිටවනු ලැබිණි. මහජන මන්ත්‍රී මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය 101 දෙනෙකුගෙන් සමන්විත විය. එම පිරිසෙන් 95 දෙනෙකු ඡන්ද කොට්ඨාස පදනම අනුව මහජන ඡන්දයෙන් තෝරා ගත් අතර, ඉදිරි 6 දෙනා නියෝජනය නොවූ සුළු ජාතීන් වෙනුවෙන් අගමැතිගේ උපදෙස් අනුව ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලදී. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 ක් විය. සෙනෙට් සභාව වශයෙන් හැඳින්වූ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් දෙවන මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෝ 30 දෙනෙක් වූහ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඔවුන් අතරෙන් 15 දෙනෙකු පත් කළ අතර අගමැතිගේ උපදෙස් අනුව අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉතිරි 15 දෙනා පත්කරන ලදී.




සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පිළිබඳ විස්තර කරන්න.


අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන්ගෙන් බහුතර සහයෝගය ලැබෙන තැනැත්තා අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති තනතුරට පත් කරන ලදී. විධායක කටයුතු කැබිනට් මණ්ඩලයට පැවරිණි. ආරක්ෂක හා විදේශ කටයුතු අගමැතිවරයා යටතේ පැවතිය යුතුවිය.




ඇමති මණ්ඩලය පත්කිරීම අගමැතිගේ උපදෙස් පරිදි අග්‍රාණ්ඩුකාරයා විසින් සිදු කරන ලදී. අධිකරණ ඇමති තනතුරු සහ තවත් එක් ඇමති තනතුරක් වත් සෙනෙට් සභා සාමාජිකයන්ගෙන් පත්කළ යුතුව තිබිණ. එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටියේය.




සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අධිකරණය පිළිබඳ විස්තර කරන්න. 


ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියක් මගින් අධිකරණ කටයුතු මෙහෙයවීය. ආණ්ඩුකාරවරයා විසින් අග්‍රවිනිශ්චකාරවරයා ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කරන ලදී.අග්‍රවිනිශ්චයකාරවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසම මගින් මගින් අධිකරණයට සම්බන්ධ විනිශ්චයකරුවන්ගේ පාලන කටයුතු මෙහෙයවිය.




 ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය




ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීම පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න.


අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූ ආචාර්ය ඇන්.ඇම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන වැනි නායකයෝ විදේශවල දී වාමාංශික දේශපාලනයේ ආභාෂය ලබා එම අදහස් මේ රටට ගැළපෙන සේ ක්‍රියාත්මක කිරීම සඳහා 1935 වර්ෂයේ දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගත්හ. වාමාංශික දේශපාලන මතවාද අනුව ශ්‍රී ලංකාව තුළ සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන කටයුතු මෙහෙයවීම සමසමාජ පක්ෂය පිහිටුවීමේ මූලික අරමුණක් විය.




ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීම පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න.


ලංකා සමසමාජ පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් විසින් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 1943 දී ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලදී.




එක්සත් ජාතික පක්ෂය පිහිටවීම පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න.


1947 දී ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය ද පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් 1946 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවීය. එවකට පැවති ලංකා ජාතික සංගමය හා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පිහිටුවා තිබූ සිංහල මහා සභාවේ සාමාජිකයෝ රැසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වූහ. මේ නිසා එම පක්ෂය ආරම්භයේ සිටම ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවට පත්ව තිබුණි.




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීම පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න.


එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීය. එක්සත් ජාතික පක්ෂයට වඩා සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා ගැන සැලකිල්ලක් දැක් වූ මෙම පක්ෂයට ස්වභාෂා උගතුන්, භික්ෂූන් වහන්සේලා හා දේශීයත්වය අගය කළ පිරිස්වල සහය ලැබුණි. 1951 මැතිවරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු ආසන 9 ක් දිනා ගත් එම පක්ෂය තවත් දේශපාලන කණ්ඩායම් රැසක් එකතු කරගෙන මහජන එක්සත් පෙරමුණ නමින් 1956 මැතිවරණයට ඉදිරිපත් වී ආසන 51 දිනා ආණ්ඩුවක් පිහිටුවීමට සමත්විය.




එකල මෙරට බිහිව තිබූ වෙනත් දේශපාලන පක්ෂ කිහිපයක් නම් කරන්න.


*ඒ.ඊ.ගුණසිංහ මහතා පිහිටු වූ


 කම්කරු පක්ෂය 


*ජී.ජී.පොන්නම්බලම් මහතා පිහිටු වූ


 ද්‍රවිඩ සංගමය


*1949 දී එස්.ජේ.වී.චෙල්වනායගම් මහතා


 පිහිටු වූ පෙඩරල් පක්ෂය 




1947 සිට 1956 දක්වා එක්සත් ජාතික පක්ෂය ක්‍රියාපටිපාටිය පැහැදිලි කරන්න.


1947 මැතිවරණයෙන් බලයට පත් අගමැති ඩී.එස්. සේනානායක මහතා 1952 මාර්තු මාසයේ මියගිය හෙයින් ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත් විය. 1952 මැතිවරණයෙන් නැවත එක්සත් ජාතික පක්ෂය ජය ගත් හෙයින් ඩඩ්ලි සේනානායක මහතා යළිත් අගමැති තනතුරට පත් විය.




එහෙත් සහල් හා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් 1953 අගෝස්තු මාසයේ දී වාමාංශික පක්ෂ විසින් මෙහෙයවන ලද හර්තාල් ව්‍යාපාරයක් නිසා ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස් විය. මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ ජෝන් කොතලාවල මහතා අගමැති තනතුරට පත් විය. නියමිත පාර්ලිමේන්තු මැතිවරණය 1957 මැයි මාසයේ දී පැවැත්විය යුතු වුවත් අගමැති ජෝන් කොතලාවල මහතාගේ උපදෙස් පරිදි අග්‍රාණ්ඩුකාරවරයා විසින් 1956 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.




1956 මැතිවරණය පිළිබඳව විස්තර කරන්න.


1956 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් වශයෙන් තරග කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග එකතුවී මහජන එක්සත් පෙරමුණ වශයෙන් තරග කළේය.




1956 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තියයි. මේ නිසා මහජන එක්සත් පෙරමුණ වටා එකතු වූ බලවේග මැතිවරණයට පෙර සිටම සිංහල රාජ්‍ය භාෂාව විය යුතු යැයි ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිබුණි.




මැතිවරණයේදී සඟ,වෙද,ගුරු,ගොවි, කම්කරු යන පංච මහා බලවේග වල වැඩි සහය මහජන එක්සත් පෙරමුණට ලැබීම නිසා මහජන එක්සත් පෙරමුණට පහසු ජයග්‍රහණයක් ලැබුණි. එම පෙරමුණට ආසන 51ක් ලැබුණු අතර ලංකා සමසමාජ පක්ෂයට ආසන 14 ක් හිමි විය. මෙහිදී එක්සත් මෙහිදී එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි හැකිවූයේ පාර්ලිමේන්තු ආසන 8 ක් පමණි. පෙඩරල් පක්ෂය ආසන 10ක් ජය ගැනීමට සමත් විය.




1956 දී අගමැති තනතුරට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ


 මොනවා ද ?


*සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම.


*බ්‍රිතාන්‍ය සමග 1947 අත්සන් කොට තිබූ


 ආරක්ෂක හා බාහිර කටයුතු පිළිබඳ


 ගිවිසුම් අහෝසි කිරීම.


*ලෝකයේ බල කඳවුරු වලට නොබැඳුණු


 මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය


 කිරීම.


*ජනසතු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම යටතේ


 වරාය හා බස් ජනසතු කිරීම.


*දේශීය කර්මාන්ත හා කෘෂිකර්මය දියුණු


 කිරීමට කටයුතු කිරීම.


*උසස් අධ්‍යාපනයේ උන්නතිය සඳහා


 විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන්


 විශ්වවිද්‍යාල බවට පත් කිරීම.




 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට


               පත් වීම




1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසුබිම් සැකසුණු ආකාරය පැහැදිලි කරන්න.


1948 සිට 1972 දක්වා සෝල්බරි ආණ්ඩුක්‍රමය මෙරට ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍ය රැජින නාමිකව මෙරට රාජ්‍ය නායකයා වීමත්, නීති පැනවීමේදී පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු යම් යම් සීමාවන් දක්වා තිබීමත් වැනි හේතු නිසා මෙරට ලැබූ නිදහස අංග සම්පූර්ණ වී නොතිබිණි.




මේ අතර 1970 මැතිවරණයට මුහුණ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව සමගි පෙරමුණක් පිහිටුවා ගෙන තිබුණි. නව ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සමගි පෙරමුණ නිකුත් කළ මැතිවරණ ප්‍රකාශයෙන් ජනවරමක් ඉල්ලා තිබුණි.




මෙම මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් සමගි පෙරමුණ නව ආණ්ඩුවක් පිහිටුවිය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති තනතුරට පත් වූවාය.මෙම ජනවරම අනුව කටයුතු කළ ආණ්ඩුව විසින් 1972 මැයි 22 දින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලදී. ඒ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.




1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ කිහිපයක් ලියා දක්වන්න.


*එතෙක් ලංකාව යනුවෙන් හැඳින්වූ මෙරට


 ශ්‍රී ලංකාව යන නමින් හැඳින්වීම.


*බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමඟ පැවති


 ව්‍යවස්ථානුකූල බැඳීම් අවසන්කිරීම.


*ශ්‍රී ලංකාව ඒකීය ජන රජයක් බව පිළිගැනීම.


*ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම්


 සුරක්ෂිත කිරීම.




1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන වගන්තියේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් මොනවා ද ?


*නීතිය පසිඳලීම, ක්‍රියාත්මක කිරීම හා නීතියේ


 රැකවරණය සර්ව සාධාරණ විය යුතුය.


*නීතියට අනුකූලව මිස පුද්ගලයකුගේ


 ප්‍රාණයට, නිදහසට හෝ සුරක්ෂිතභාවයට


 හානියක් නොකළ යුතුය.


*සෑම පුරවැසියෙකුටම සිතීමේ නිදහසට,


 හෘද සාක්ෂියේ නිදහසට හා ආගමික


 නිදහසට අයිතිය තිබේ.


*පුරවැසියන්ට සාමකාමීව රැස්වීමට හා


 අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබේ.




1972 ආණ්ඩුක්‍රමය යටතේ ජනාධිපති තනතුර පිළිබඳව පැහැදිලි කරන්න.


එතෙක් පැවති අග්‍රාණ්ඩුකාර තනතුර වෙනුවට නාමික විධායක ජනාධිපති තනතුර හඳුන්වා දුන්නේය. එතෙක් අග්‍රාණ්ඩුකාරවරයාට හිමිවූ බලතල නව ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබුණි. එවකට අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු වල විලියම් ගොපල්ලව මහතා මෙරට ප්‍රථම නාමික විධායක ජනාධිපති තනතුරට පත් කෙරිණි.




1972 ආණ්ඩුක්‍රමය යටතේ ජාතික රාජ්‍ය සභාව පිළිබඳ පැහැදිලි කරන්න.


1972 ට පෙර පාර්ලිමේන්තුව යනුවෙන් හැඳින්වූ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට නව ව්‍යවස්ථාවෙන් ජාතික රාජ්‍ය සභාව ස්ථාපිත කෙරිණි. ජාතික රාජ්‍ය සභාව මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයන්ගෙන් සමන්විත විය. ශ්‍රී ලංකාව සඳහා නීති සම්පාදනය කිරීමේ පූර්ණ බලය ජාතික රාජ්‍ය සභාව සතුවිය. ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය වසර 6 ක් විය.




1972 ආණ්ඩු ක්‍රමය යටතේ අගමැති සහ අමාත්‍ය මණ්ඩලය පිළිබඳව පැහැදිලි කරන්න.


මෙම ව්‍යවස්ථාව යටතේ විධායක බලය ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය හෙවත් කැබිනට් මණ්ඩලයට පැවරිණි. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා විය. ජනාධිපති වරයා විසින් අගමැතිවරයා පත් කරන ලද අතර, අගමැතිගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයා සිසු ඇමැතිවරුන් පත් කළ යුතුවිය.




1972 ආණ්ඩුක්‍රමය යටතේ අධිකරණය පිළිබඳව පැහැදිලි කරන්න.


1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යුක්තිය පසිඳලීමේ කටයුතු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ආදී ලෙස අධිකරණ පද්ධතියක් පිහිටුවිය. මෙම අධිකරණ පද්ධතියේ ප්‍රධානම ආයතන දෙක වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය හා මහාධිකරණයයි. ඒ ඒ දිස්ත්‍රික්කවල සිවිල් නඩු විසඳීම දිසා අධිකරණ වලට පැවරිණි. අපරාධ නඩු විනිශ්චය කිරීමට ඒ ඒ මහෙස්ත්‍රාත් අධිකරණ වලට පැවරී තිබුණි.




අධිකරණ සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම සඳහා අධිකරණ සේවා උපදේශන මණ්ඩලය හා අධිකරණ සේවා විනය මණ්ඩලයක් පිහිටුවා තිබුණි. කම්කරු උසාවි එම මණ්ඩල මගින් ක්‍රියාත්මක විය.




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලු නිරාකරණය හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි පරික්ෂා කිරීම ආදිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ පිහිටුවා තිබුණි.




     1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව




1978 ආණ්ඩුක්‍රමයට පසුබිම සැකසුණු අයුරු පැහැදිලි කරන්න.


1977 ජූලි මාසයේ පැවති මැතිවරණයෙන් ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී ආසන 168 න් 140 ක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. මෙහිදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ආසන 18ක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගත හැකි වූ ආසන 8ක් ද, ලංකා කම්කරු සංගමය යට ආසන 1ක්ද , ස්වාධීන මන්ත්‍රී වරයෙකුට එක් ආසනයක් ද ලැබුණි.




මැතිවරණයෙන් මුළු ආසන සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වඩා ජයගත් එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් විධායක ජනාධිපති ධූරය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලදී. 1978 සිට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විය.1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හැඳින්විය.




1978 ආණ්ඩුක්‍රමය යටතේ විධායක ජනාධිපති ධුරය පිළිබඳ පැහැදිලි කරන්න.


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30වන වගන්තිය අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද , විධායකයේ ප්‍රධානියාද , ආණ්ඩුවේ ප්‍රධානියාද , සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වේ.මේ අනුව ජනාධිපති ධූරය පූර්ණ විධායක බලතල සහිත රජයේ ඉහලම විධායක තනතුර බවට පත්විය.මෙම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා, ජනාධිපතිවරණ ඡන්ද විමසීමක දී ජනතා ඡන්දයෙන් තෝරා පත් කර ගනී. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කි.




1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයා සතු බලතල මොනවා ද ?


*පාර්ලිමේන්තුව කැඳවීම,වාරාවසාන කිරීම,


 මැතිවරණයකින් පසු මංගල පාර්ලිමේන්තු


 රැස්වීමේ මුලසුන දැරීම, ආණ්ඩුවේ ප්‍රතිපත්ති


 ප්‍රකාශනය ඉදිරිපත් කිරීම හා පාර්ලිමේන්තුව


 විසුරුවා හැරීමේ බලය.


*අගමැතිවරයා පත් කිරීම, ඇමතිවරුන් පත්


 කිරීම, ඇමතිවරුන්ට විෂය හා කාර්ය පැවරීම,


 අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන්


 කටයුතු කිරීම.


*විනිශ්චයකාරතුමා පත්කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ/


 අභියාචනාධිකරණ විනිශ්චකාරවරුන්


 පත්කිරීම, අධිකරණයකින් වරදකරු කළ


 තැනැත්තකුට සමාවදීම, දඬුවම් ලිහිල් කිරීම.


*රාජ්‍ය නායකයා වශයෙන් යුද්ධය හා සාමය


 ප්‍රකාශ කිරීම, රාජ්‍ය උත්සව වල මුලසුන දැරීම,


 ජාත්‍යන්තර වශයෙන් ජනරජය නියෝජනය


 කිරීම,රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීම.


*ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට


 විරුද්ධව කවර කරුණක් හෝ සම්බන්ධයෙන්


 අධිකරණයට නඩු පැවරීම කළ නොහැකි වීම.




1978 ආණ්ඩුක්‍රමය යටතේ අගමැති සහ අමාත්‍ය මණ්ඩලය පිළිබඳ පැහැදිලි කරන්න.


පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරින් අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කරනුයේ ජනාධිපතිවරයා විසිනි. ජනාධිපතිවරයා විසින් 1972 ව්‍යවස්ථාව යටතේ අගමැති සතු බලතල මෙම ව්‍යවස්ථාව යටතේ ඇමති මණ්ඩලයේ නායකයා වන ජනාධිපති සතු විය. අමාත්‍ය මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකිව යුතුය.




පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති ක්‍රියාත්මක කිරීම, ඒ ඒ අමාත්‍යාංශ වල අය වැය ඇස්තමේන්තු හා අතුරු අය වැය සැකසීම, අමාත්‍යවරුන්ට පැවරුණු ඒ ඒ විෂය භාරව කටයුතු කිරීම අමාත්‍ය මන්ඩලයේ නිශ්චිත කාර්යයන් විය.




1978 ආණ්ඩුක්‍රමය යටතේ පාර්ලිමේන්තුව පිළිබඳ පැහැදිලි කරන්න.


පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වේ. මන්ත්‍රීවරු 196 දෙනෙකු සමානුපාතික නියෝජන ක්‍රමය අනුව මහජන ඡන්දයෙන් තේරී පත්වේ. ඒ ඒ පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාවේ අනුපාතය අනුව ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාපත්කර ගනී. නීති පැනවීම, මුදල් පරිපාලනය, අය වැය සකස් කිරීම, සංවර්ධන සැලසුම් සම්පාදනය පාර්ලිමේන්තුව සතු කාර්යයන් වේ.




1978 ආණ්ඩුක්‍රමය යටතේ අධිකරණය පිළිබඳ පැහැදිලි කරන්න.


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය දිසා අධිකරණය, පවුල් අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, ප්‍රාථමික අධිකරණය ආදියෙන් සමන්විත ස්වාධීන අධිකරණ පද්ධතිය හඳුන්වා දුන්නේය.


මෙරට උත්තරීතර හා අවසාන අධිකරණ බලය හිමි උසාවිය ශ්‍රේෂ්ඨාධිකරණය වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වන අග්‍රවිනිශ්චකාරවරයා හා එම අධිකරණයේ සියලු විනිශ්චකාරවරුන් ද , අභියාචනාධිකරණයේ විනිශ්චකරුවන් ද, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ. මූලික අයිතිවාසිකම් පිළිබද නඩු විසඳීම, ජනාධිපතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෝෂාභියෝග පිළිබඳ පරික්ෂා කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් පිළිබඳ චෝදනා විමසීම, ඡන්ද පෙත්සම් පිළිබඳ අධිකරණ කටයුතු කිරීම ආදිය ශ්‍රේෂ්ඨාධිකරණයට අයත් කාර්යන් සමහරකි. සමහර අධිකරණවලින් ලබා දෙන තීන්දු වලට එරෙහි ඉදිරිපත් වන අභියාචනා නඩු විසඳීමේ බලය අභියාචනාධිකරණය සතුය.




1978 ආණ්ඩුක්‍රමය යටතේ පිහිට වූ අධිකරණ සේවා කොමිෂන් සභාව පිළිබඳ පැහැදිලි කරන්න.


අධිකරණයේ ස්වාධීනත්වය රැකෙන පරිදි කටයුතු කිරීමට හා විනිශ්චයකාරවරුන්ගේ අපක්ෂපාතීත්වය රැකගැනීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවක් පිහිටුවන ලදී. අග්‍ර විනිශ්චකාරතුමා එහි සභාපතිත්වය දරන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තවත් විනිසුරුවෝ දෙදෙනෙක් ද එහි සාමාජිකත්වය දරති. මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ ස්ථාන මාරු කිරීමේ බලය, අධිකරණ නිලධාරීන්ගේ පුහුණුවීම්, උසස් කිරීම් ඇතුළු විනය පාලන කටයුතු අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවරී ඇත.




1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කළ මූලික අයිතිවාසිකම් මොනවා ද ?


*නීතිය ඉදිරියේ සමානත්වයෙන් සැලකීමේ


 නිදහස.


*කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ


 නිදහස.


*වධ හිංසා වලින් මිදී සිටීමේ නිදහස.


*කැමති ආගමක්, ලබ්ධියක් හෝ විශ්වාසයක්


 දැරීමේ නිදහස. 


*කැමති වෘත්තියක්, රැකියාවක් කිරීමේ නිදහස.




(*)පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම්


  උල්ලංඝනය වීමක් සිදු වූයේ නම් ඒ පිළිබඳ


  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ


  හැකිය.


(*)රාජ්‍ය සේවකයෙකුගේ අයිතිවාසිකම්


  උල්ලංඝනය වූයේ නම්, ඒ පිළිබඳව


  පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් 


  ඔම්බුඩ්ස්මන්වරයා වෙත පැමිණිල්ලක්


  ඉදිරිපත් කළ හැකිය.




1978 ව්‍යවස්ථාව අනුව පහත සඳහන් ඡන්ද විමසීම් පිළිබඳ සැකෙවින් දක්වන්න.


ජනාධිපතිවරණය :


මෙහි දී ශ්‍රී ලංකාවම එකම ඡන්ද කොට්ඨාසයක් බවට පත්වේ. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් නියත බහුතරයක් හෙවත් 50% ඉක්ම වූ බහුතරය ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කරයි.




සමානුපාතික නියෝජන ක්‍රමය :


පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ඡන්ද සඳහා මෙම ක්‍රමය භාවිතා කරයි.මෙහිදී අපේක්ෂකයන් කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් වේ. මෙහි දී අදාළ පක්ෂයට ඡන්දය ලබා දී අපේක්ෂකයාට මනාපය සටහන් කළ යුතුය. ඒ ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව පක්ෂයට හිමි ආසන ගණන තීරණය වේ. අපේක්ෂකයන් ලබා ගත් මනාප අනුව ඔවුන්ට ජයග්‍රහණය හිමි වේ.




ජනමත විචාරණය :


මෙහිදී එක් නියමිත කරුණක් සඳහා තම අභිමතය 'ඔව්' හෝ 'නැත' ලෙස ප්‍රකාශ කෙරෙන ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීම සිදු වේ. 1982 දී එතෙක් පැවති පාර්ලිමේන්තුවේ නිල කාල සීමාව දීර්ඝ කරගැනීම සඳහා මෙරට පැවති එකම ජනමත විචාරණය පැවතුණි.




                   6.2      


නිදහසින් පසු සංවර්ධන කටයුතු 




ඩී.එස්.සේනානායක මහතා විසින් වියළි කලාපයේ ගොවි ජනපද පිහිටුවීමේ අරමුණු මොනවා ද ?


*තෙත් කලාපයේ ඉහළ යමින් පවතින


 ජනගහන තදබදය හා රැකියා හිඟය


 අඩු කිරීම.


*රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම.


*වියළි කළාපයේ පැරණි වැව් හා වාරි මාර්ග


 අලුත්වැඩියා කොට එහි ඉඩම් ආර්ථික


 සංවර්ධනයට යොදා ගැනීම.


*තෙත් කලාපයේ පවතින ඉඩම් හිඟය අඩු


 කොට ඉඩම් හිමි  තෘප්තිමත් ගොවි පරපුරක්


 නිර්මාණය කිරීම.




මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය මගින් අපේක්ෂා කළ අරමුණු කීපයක් ලියා දක්වන්න.


*වියළි කලාපයේ ගොවිබිම් ඵලදායී ලෙස


 කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගැනීමට


 අවශ්‍ය නිත්‍ය ජල පහසුකම් සැපයීම.


*ඉහළ යන විදුලිබල ඉල්ලුම සඳහා විදුලි


 බලය නිෂ්පාදනය කිරීම.


*ජල සම්පාදනය නිසා නව ජනාවාස බිහි


 කිරීමෙන් ඉඩම් නැති ජනතාවට  ඉඩම්


 සපයා දී ආහාර බෝග වගාව ව්‍යාප්ත කිරීම.


*අමතර රැකියා අවස්ථා බිහි කිරීම.


*ගංවතුර පාලනය හා මිරිදිය මසුන් බෝකිරීම.




මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි කළ ජලාශ මොනවා ද ?


*කොත්මලේ


*වික්ටෝරියා 


*රන්දෙණිගල 


*රන්ටැඹේ 


*උල්හිටිය


*‍රත්කිඳ


*මාදුරුඔය 




නිදහසින් පසුව වී වගාව දියුණු කිරීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග කීපයක් ලියා දක්වන්න.


*1948 දී වී සඳහා සහතික මිල ක්‍රමයක්


 හඳුන්වා දීම.


*වී පර්යේෂණ ආයතන පිහිටුවීම හා නව වී


 ප්‍රභේද හඳුන්වාදීම. 


*ගොවිජන සේවා මධ්‍යස්ථාන  පිහිටුවීම.


*රජයේ බැංකු මගින් ගොවියන්ට ණය ආධාර


 ලබාදීමට පියවර ගැනීම




නිදහසින් පසුව ව්‍යාපාරික කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා අනුගමනය කළ පියවර මොනවා ද ?


*1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය මගින්


 පුද්ගලයකුට අයිතියේ තබා ගත හැකි


 නිශ්චිත ඉඩම් ප්‍රමාණය නියම කිරීම.


*1975 ඉඩම් ප්‍රතිසංස්කරණය මගින් ව්‍යාපාරික


 වතු වගාවේ යෙදුණු පොදු සමාගම් සතු


 ඉඩම් ජනසතු කිරීම.


*1975 ඉඩම් ප්‍රතිසංස්කරණය මඟින් පොදු


 සමාගම් සතු විශාල ඉඩම රාජ්‍ය අංශයට


 ලැබීම නිසා විශාල ඉඩම් පිළිබඳ අයිතිය


 පෞද්ගලික අංශයෙන් රාජ්‍ය අංශයට මාරුවීම.




නිදහසින් පසුව සුළු අපනයන බෝග වගාව දියුණු කිරීම සඳහා අනුගමනය කළ පියවර මොනවා ද ?


*1968 තේ කොමිෂන් වාර්තාව අනුව තේ


 ඉඩම්වල අතුරු වගාවක් වශයෙන් ඇතැම්


 සුළු අපනයන බෝග වගා කිරීම, දියුණු


 කිරීමට පියවර ගැනීම.


*1972 දී මාතලේ ද, ඉන්පසුව කුණ්ඩසාල,


 දැල්පිටිය, නාරම්මල සුළු අපනයන


 පර්යේෂණ ආයතන ආරම්භ කිරීම.


*1972 සිට සුළු අපනයන භෝග වගාවන්


 සඳහා උපදෙස් ලබා දීම, පොහොර ලබාදීම,


 අලෙවි ප්‍රවර්ධන කටයුතු කිරීම.




1960 වර්ෂයෙන් පසුව මෙරට කාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ කැපී පෙනෙන ලක්ෂණ මොනවා ද ?


*1961 දී මහජන බැංකුව පිහිටුවීම හා කුඩා


 කර්මාන්තකරුවන්ට ණය පහසුකම් ලබාදීම.


*1966 දී දේශීය කාර්මික නිෂ්පාදන වල


 නිෂ්පාදන ප්‍රමිතිය තීරණය කිරීමට ප්‍රමිති


 කාර්යාංශයක් පිහිටුවීම.


*රජයේ කාර්මික ප්‍රතිපත්තිය නිසා 1960 න්


 පසු මෙරටට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය


 නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත වල දියුණුවක්


 ඇති වීම.


*1970 - 1977 කාලයේ රජය අනුගමනය කළ


 ආයාත ආදේශක  ප්‍රතිපත්තිය නිසා දේශීය


 ගෘහස්ථ කර්මාන්ත හා සුළු කර්මාන්ත දියුණු


 වීම.


*1978 දී කොළඹ ආර්ථික කොමිසම පිහිටුවීම,


 කටුනායක, බියගම හා කොක්ගල අපනයන


 සැකසුම් කලාප පිහිටුවීම.




නිදහසින් පසු මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ මොනවා ද ?


*රජයේ පාසල් පිහිටුවීම හා අධ්‍යාපන


 ව්‍යාප්තියට මුදල් යෙදවීම නිසා රට පුරා


 පාසල් සංඛ්‍යාව ඉහළ යාම.


*විෂයමාලා සංවර්ධනය හා ගුරු පුහුණු


 කටයුතු නවීකරණය වීම.


*විද්‍යාගාර පහසුකම් හා පාසල් පුස්තකාල


 පහසුකම් ව්‍යාප්ත වීම.


*දිවා ආහාරය, පාසල් පොත්, පාසල් නිල ඇඳුම්


 ආදිය නොමිලේ ලබාදීම හා සහනදායී


 ගමනාගමන පහසුකම් සලසා දීම.


*අධ්‍යාපන පරිපාලන රටාව කාලයට ගැලපෙන


 ලෙස වෙනස් කිරීම.


*වෘත්තීය අධ්‍යාපන ආයතන පිහිටුවමින් එකී


 අධ්‍යාපන කටයුතු පුළුල් කිරීම.


*නව විශ්වවිද්‍යාල පිහිටුවමින් උසස් අධ්‍යාපන


 කටයුතු වැඩිදියුණු කිරීම.


*විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර) හා විද්‍යාලංකාර


 (කැලණිය) පිරිවෙන් විශ්වවිද්‍යාල බවට


 පත් කිරීම.


*1972 මොරටුව විශ්වවිද්‍යාලය හා 1974 යාපන


 විශ්වවිද්‍යාලය පිහිටුවීම.




                   6.3


  සමාජ සුභ සාධනය 




නිදහසින් පසු සමාජ සුබ සාධනය සඳහා ගන්නා ලද පියවර මොනවාද ?


*ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු


 දියුණු කිරීම.


*රැකියා ලබා ගැනීමේදී දක්ෂතාවට මුල්තැන


 දීම හා තරග විභාග ක්‍රම යොදා ගැනීම.


*නිදහස, සමානාත්මතාව හා මූලික


 අයිතිවාසිකම් වැනි සංකල්ප  ව්‍යවස්ථාගත


 කිරීම.


*කෘෂිකර්මය හා ධීවර කටයුතු ආදියට ණය


 පහසුකම් හා සහනාධාර සපයමින් රාජ්‍ය 


 අනුග්‍රහය ලබාදීම.


*සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම නිසා


 උණසන්නිපාතය, බරවා, මැලේරියා, ක්ෂය


 රෝගය, බාලක පක්ෂගාත රෝගය ආදිය


 වැළඳෙන පිරිස සැලකිය යුතු තරමින් අඩු


 කරගත හැකි වීම.


*ජලය, විදුලිය, පණිවුඩ හුවමාරුව වැනි පොදු


 පහසුකම් ලබාදීම.


*මහාමාර්ග, දුම්රිය මාර්ග හා අධිවේගී


 මාර්ග ඉදිකිරීම.

Post a Comment

Post a Comment