-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

කර්මය යනු කුමක්ද ? -------------------------------

Edu.com


Join group 

සම්බුදු දහමේ කර්මය යනු චේතනාව යි. ‘චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ ‘මහණෙනි, චේතනාව කර්මය යි. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා, ‘චේතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා’ චේතනාව පහළ කරලා, කර්ම රැස් කරනවා, කායෙන, තමන්ගේ කය මුල් කරලා කර්ම රැස් කරනවා. චේතනාවත් සමඟ කය ක්‍රියාත්මක වෙයි. වාචාය, කතා කරන සෑම වදනක් ම චේතනාවක් සමඟ යි, සකස් වන්නේ. මනසා, සිතන සෑම සිතිවිල්ලක් සමඟ ම චේතනාවක් රැඳෙනවා. එසේනම්, සිත, කය, වචනය යන තුන් දොරම චේතනාවක් අනුව සැකසෙයි. චේතනාවක් අනුව ක්‍රියාත්මක වෙයි. ඒ චේතනාව කර්මයක් බවට පත් වෙයි.


ඊළඟට මේ විදිහටත් ඔබ තේරුම් ගත්තොත්, ආයතන හයක් අපට තිබෙනවා. ඒ ආයතන මඟින් සංසාර ගමනක් සැකසෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යනුවෙනි. ඇසට පෙනෙන රූප අනුව චේතනාව පහළ වෙයි. එය රූප සංචේතනා නම් වෙයි. කනට ඇසෙන ශබ්දයට අනුව චේතනා පහළ කරයි, එය ශබ්ද සංචේතනා වෙයි. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ කරනවා. ගන්ධ සංචේතනා. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ කරනවා. රස සංචේතනා. කයට දැනෙන පහසට අනුව චේතනා පහළ කරනවා. පොට්ටබ්බ සංචේතනා, සිතට එන සිතිවිල්ලට අනුව චේතනාවක් සිතෙහි පහළ වෙනවා. එය ධම්ම සංචේතනා නම් වෙයි. එසේනම්, ඇස, කන , නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හයෙන් ම එන අරමුණක් පාසා ම චේතනා පහළ වෙනවා. කර්ම රැස් වෙනවා. ඊළඟට ඒ අරමුණු ඔස්සේ ම අප සිත සිතා යනවා. ඒ අරමුණු ගැන ම අප කතා කරනවා. ඒ අරමුණු ඔස්සේ ම ක්‍රියා කරනවා. එවිට ඔබට මේ ටික තේරුණා නම්, අපට තේරෙන්නේ අප කාටවත් කර්ම රැස්කරන්නේ නැතිව ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. සෑම විටම ඇසට එන අරමුණක් පාසා, ඇස යි, රූපය යි, විඤ්ඤාණය යි එකතුවීමෙන් ඇසෙහි ස්පර්ශයෙන් ඇතිවන, එනම් අපේ ඇසට පෙනෙන හැම අරමුණක් පාසාම චේතනා පහළ වෙයි. කනට ඇසෙන සෑම ශබ්දයක් පාසාම චේතනා පහළ වෙයි. නාසයට දැනෙන හැම ගඳ සුවඳකට අනුව ම චේතනා පහළ වෙයි. මේ අනුවආයතන හයෙන් ම කර්ම රැස් වෙනවා.


එසේ ම යහපත් කර්ම හේතුවෙන් සැප දායක සැනසුම් ඵලවන යහපත් විපාක ද, අයහපත් කර්ම හේතුවෙන් දෙනෙත් කඳුලින් තෙත් කරවන දුක් විපාක ද ගෙන දෙනු ලැබේ. යහපත් කර්ම වලට ගෙන දෙන සැප විපාක ආනිසංස නමින් ද දක්වා ඇත. යහපත් කර්මයන් ගේ දායාදය ද එය ම වේ. 


යමෙක් බුදු, පසේබුදු, මහරහත් යන තත්වයකට පත් වුවහොත් සියලු කර්ම ඉන් එහා දිවියකදී විපාක දීම නැතිවන්නේ ය. 


හැමදෙනාම, සියළු කර්ම ප්‍රහාණය කොට ලබන උත්තරීතර සැප ඇති නිවනින් සැනසෙත්වා.

Post a Comment

Post a Comment