නන්දෝපනන්ද නාග රාජයා දමනය කල මහා සෘද්ධිමත් මුගලන් මහ රහතන්වහන්සේ!
නන්දෝපනන්ද භුජගං විබුධං මහිද්ධිං , පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ / ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ!
" මුගලන් , අවසර දෙමි. ගොසින් ඔහුගේ තේජස බිද දමා දමනය කරන්නැ"යි වදාළ සේක.
ඉක්බිති මහ මුගලන් තෙරණුවෝ නන්දෝපනන්ද නා රජුටත් වඩා ප්‍රමාණයෙන් විශාල මහා කලු නයි වෙසක් මවා ගෙන, පෙණය නා රජුගේ පෙණය මත්තෙහි තබා ඔහු මහමෙර ට තද කොට සිටියහ.මෙයින් මහත් කෝපයට පත් නා රජු ඇඟෙන් දුම් පිට කරන්නට විය. මුගලන් මහ රහතන්වහන්සේ ද ඒ දුමට වැඩියෙන් ඇඟෙන් දුම් පිට කළහ. ඉන් මහත් පීඩාවට පත් නා රජු ඇඟෙන් ගිණි ජාලා පිට කරන්නට විය. මුගලන් මහ රහතන්වහන්සේ ද එයටත් වඩා තදින් ඇඟෙන් ගිණි ජාලා පිට කරන්නට වූහ.මේවායින් උන්වහන්සේට අංශුමාත්‍රයක හෝ පීඩාවක් නොවීය.නමුත් දැඩි සේ පීඩාවට පත් නා රජු ,මොහු රවටා මිසක් මින් බේරිය නොහැකියැයි සිතා..
" අහා...පින්වත ඔබ කවුරුන්දැයි " විමසීය.
" නන්දයෙනි, මම මුගලන් වෙමි."
" එසේ නම් ඒ භික්ෂු වේශයෙන් පෙනී සිටින්නැ"
ඉක්බිති මුගලන් මහ රහතන්වහන්සේ පියවි වෙසින් පෙනී සිට, කිසිවකුත් නොපවසා නා රජුගේ දකුණු කණින් ඇතුළු වී වම් කණින් නිකමුණු සේක. වම් කණින් ඇතුළු වී දකුණු කණින් නිකමුණු සේක.දකුණු නාසා සිදුරින් ඇතුළු වී වම් නාසා සිදුරින් නිකමුණු සේක . වම් නාසා සිදුරින් ඇතුළු වී දකුණු නාසා සිදුරින් නිකමුණු සේක.ඒත් සමග ම නා රජු තම දැවැන්ත මුව එකවර ම විවර කළේ ය.එවිට ම මහ මුගලන් තෙරණුවෝ නා රජු ගේ කුසට පිවිස කුස තුළ සක්මන් කරන්නට පටන් ගත් සේක .
එකල්හි භාග්‍යවතුන්වහන්සේ ....
"මුගලන්, බලාගෙනයි .... ඔය නාගයා මහානුභාව සම්පන්නයි. ප්‍රවේශම්වන්නැ" යි වදාළ සේක .
"ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස,මා විසින් ඡන්ද,චිත්ත,විරිය,විමංසා යන සතර සෘද්ධිපාද වඩන ලදී. නැවත නැවතත් වඩන ලදී. නැවත නැවතත් පුරුදු කරන ලදී.බහුල වශයෙන් වඩන ලදී.බහුල වශයෙන් පුරුදු කරන ලදී .එසේ තිබියදී මේ හීන දීන නා රජු මට කවරෙක් ද? " මහ මුගලන් තෙරණුවෝ පිළිවදන් දුන් සේක.
එකල්හි නා රජු,
"මේ මහණා නම් මහා ම මහා සටකපටයෙකි... මොහු වහා ම එළියට ගත යුතුය. කුසෙන් නික්මෙනවාත් සමග ම නසා වනසා දමමි." යි සිතා...
" පින්වත් ස්වාමීනි , ගැත්තාට අනුකම්පා කර කරුණාවෙන් පිටතට වඩිනු මැනවි. මට බොහොම විඩාවයි...." පැවසීය.
මෙය ඇසූ මහ මුගලන් තෙරණුවෝ සක්මන් කිරීම නවතා කුසින් ඉහළට නැග නාග මුවෙහි සිටියහ.එවිට ම නා රජු තම මුවින් විෂ දුම් සහිත ගිණි ජාලා එවීය.මහ මුගලන් තෙරණුවෝ ක්ෂණයක් ඇතුලත් චතුර්ථ ධ්‍යානයට සම වැදුණාහ.නා රජුගේ විෂ දුම් සහිත ගින්නෙන් මහ තෙරුණ්ගේ සිරුරේ එක් රෝමකූපයක්වත් නොදැවුණි. මේ මහා අසිරිය දුටු නා රජු, "මොහු නම් එසේ මෙසේ අයෙකු නොවේ...මොහු නම් මහා සෘද්ධි ඇති මහානුභාව සම්පන්න තැනත්තෙකි"යි සිතුවේය.නා රජු ගේ අදහස දුටු මහ මුගලන් තෙරණුවෝ වහා ම දැවැන්ත තටු ඇති මහා ගුරුලු රාජයෙකු ගේ වේශයක් මවා ගෙන ඉහළ අහසට පැන නැගී නා රජු පසු පස්සෙන් පන්න පන්නා පියඹා ගියහ.බියන් තැති ගත් නා රජු වහා ම මානවක වේශයක් ගෙන,ගුරුළා දෙස බල බලා දොහොත් මුදුන් තබා,
" ස්වාමීනි , මම අද පටන් ඔබ වහන්සේ සරණ යමි. තව දුරටත් මට හිරිහැර නොකරනු මැනවි."යි වැඳ වැටුණි.මෙය ඇසූ මුගලන් තෙරණුවෝ ගුරුලු වෙස් අතහැර අහසේ ම සිට....
" නන්දයෙනි ,නාග රාජයාණනි.... මා සරණ යෑමෙන් ඔබට ඵලක් නැත. අප ශාස්තෘන් වහන්සේ මෙහි වැඩ සිටිනා සේක. ඔබ උන්වහන්සේ සරණ යන්නැ"යි කීහ.එවිට නා රජු බුදු රජුන් වෙත එළැඹ,දනින් වැටී..
" මම අද පටන් බුදුන් සරණ යමි"යි කියා බුදුන් සරණ ගියේ ය.
Post a Comment